2021 ජනවාරි 09 වන සෙනසුරාදා

ඉන්දියාව ලංකාවෙන් කළුගලක් ඉල්ලයි

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

I දේශපාලන වාර්තාකරු

භාරතයේ සුප්‍රකට පෙම්පුවතක එන රාමා-සීතා කතාව නැවත සිහිගන්වමින් ඉන්දියාවේ අයෝධ්‍ය නුවර ඉදිකෙරෙන රාමා කෝවිල් පරිශ්‍රයේ මුල්ගලක් ලෙස භාවිත කිරීමට, නුවරඑළියේ සීතා අම්මාන් කෝවිල් භූමියෙන් කළුගලක් සපයන ලෙස මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා එම කෝවිලේ භාරකරැවන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ අනුග්‍රහයෙන් ඉදිවන රාමා කෝවිලට අවශ්‍ය මුල්ගල සැපයීමට මෙරට සීතා කෝවිලේ ප්‍රධාන භාරකරු හිටපු අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා ප්‍රතිඥා දී තිබේ. අනතුරුව අදාළ කළුගල කොළඹට ගෙනැවිත් කොළඹ මයුරාපති කෝවිලේ දැනටමත් පුදපූජා සඳහා තැන්පත් කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ ගැන බෙහෙවින් උනන්දු වන නිසා හැකි ඉක්මණින් අදාළ කළුගල ඉන්දියාවට යැවීමට පියවර ගන්නැයි එරට විදේශ අමාත්‍ය ජයශංකර් මහතා කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය.