2021 ජනවාරි 02 වන සෙනසුරාදා

දේශීය බෙහෙත් සොයන්න ඉන්දියාවේ පර්යේෂණ 68ක්

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

I සුගත් පී. කුලතුංගආරච්චි

දේශීය සහ පාරම්පරික ඖෂධ අතරින් කොවිඩ්-19 සුවය සඳහා සුදුසු ඖෂධයක් හෝ සංයෝගයක් වෙන්කර හඳුනා ගැනීම සඳහා ඉන්දියාවේ මේ වන විට මුල්පෙළ පර්යේෂණ 68ක් සිදුවෙමින් පවතී.

ඉන් පර්යේෂණ 4ක් ඒවායේ අවසන් සායනික මට්ටම පසුකරමින් ඇති අතර කොවිඩ්-19 සාදන වෛරසය මර්දනය සහ පාලනය  සඳහා දේශීය සහ පාරම්පරික ඖෂධ සාර්ථකව යොදාගත හැකි බව එමගින් සනාථ වී තිබේ.

ඔවුන් පරීක්ෂාවට ලක් කළ පාරම්පරික සහ දේශීය ඖෂධ රාශිය අතරින් රසකිඳ, තිප්පිලි සහ අශ්වගන්ධ මුල් යන ඔසු වර්ග වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණය වර්ධනයටත්, උණ සහ ප්‍රදාහ තත්ත්ව සමනයටත් ඉහළ සාර්ථකත්වයක් දක්වන බව සනාථ වී තිබේ. අශ්වගන්ධ ඔසු ශාකය ගැන සොයා බැලූ එම පරීක්ෂණය සඳහා පමණක් ලක්ෂයකට වැඩි පිරිසක් යොදාගෙන ඇත.

ඉන්දියාවේ දේශීය සහ ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන් වගකීම දරන “ආයූෂ්” අමාත්‍යාංශය ප්‍රමුඛ සෞඛ්‍ය සහ පවුල් සුබසාධන අමාත්‍යාංශය, විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය, ඇතුළු පර්යේෂණායතන ගණනාවක් සම්බන්ධීකරණය මගින් මෙම දේශීය සහ පාරම්පරික ඔසු පරීක්ෂාව සිදුකර තිබේ. රටේ විශ්වවිද්‍යාල ඇතුළු විවිධ පර්යේෂණායතන 122ක් මේ මහා පරිමාණ ඖෂධ පරීක්ෂාව සඳහා දායක වී  ඇත. කොවිඩ්-19 රෝග ලක්ෂණ සමනයට සහ එය සාර්ථකව පාලනය කර ගැනීමට වසර දහස් ගණනක සිට භාවිතයට ගන්නා දේශීය ඔසු සහ ශාකසාර සංයෝග ආසාත්මිකතාවයන්ගෙන් තොරව වඩාත් ඉහළ කාර්යක්ෂමතාවක් දක්වන බව ආයූෂ් අමාත්‍යාංශය ජාතික ඒකාබද්ධ කාර්ය සාධක බලකායට දන්වා තිබේ.