2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

දරුවන්ට හානිකර භයානක වෛරසයක් දකුණු අප්‍රිකාවේ

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 31

I සුගත් පී. කුලතුංගආරච්චි

දැනට එංගලන්තයෙන් වාර්තාවන නව SARS-CoV-2 වෛරසයට වඩා කඩිනමින් පැතිරයාමේ හැකියාවක් සහිත වඩාත් භයානක නවතම වෛරසයක් දකුණු අප්‍රිකාවෙන් හමුවී තිබේ.

එංගලන්තය ප්‍රමුඛව රටවල් 5ක දැනට පැතිර යන නව වෛරසයටත් වඩා ඉහළම සම්ප්‍රේෂණ හැකියාවක් සහිත මෙම 501Y.V2. නමැති දකුණු අප්‍රිකානු වෛරසය රටේ වෙරළබඩ කලාපය ආශ්‍රිතව මුලින් පැතිර ගොස් පසුව රටපුරා ව්‍යාප්තව ඇති වග වෛද්‍ය පර්ෙය්ෂකයෝ කියති.

අලුතෙන් සොයාගන්නා ලද දකුණු අප්‍රිකානු නව වෛරසය කුඩා දරුවන්ට සහ තරුණ පිරිසට දැඩිලෙස  හානිදායී  අන්දමින්  ආසාදනය විය හැකි  බව සායනික පර්යේෂණ වාර්තා මගින් තහවුරු කර තිබේ. කොවිඩ් 19ට හේතු වූ මුල් වෛරසය දැඩිලෙස හානි පැමිණ වූයේ වැඩිහිටි සහ ඇතැම් නිදන්ගත රෝග හේතුවෙන් ප්‍රතිශක්තිය හීන වූ අයටය. දෙසැම්බර් මාසය මුලසිට දකුණු අප්‍රිකාවෙන් මෙම වෛරස ආසාදිතයන් 11,000ක් හඳුනාගෙන ඇති අතර එයින් බහුතරයක්ම වයස අවුරුදු 15 සහ 25 අතර වීම කැපී පෙනෙන විශේෂත්වයකි.

මේ වෛරසය නිසා දැනටමත් එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, තුර්කිය, ඊශ්‍රායලය සහ මොරිෂස් දූපත ඇතුළු රටවල් ගණනාවක්ම දකුණු අප්‍රිකාව සමඟ ගුවන් ගමන් අත්හිටුවා තිබේ. නමුත් මේ වනවිටත් එංගලන්තය තුළින් මෙම වෛරසය ආසාදිත වූවන් දෙදෙනෙකු වාර්තා වී තිබේ.