2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

මහර ගැටුමට හේතු වූ පෙත්ත

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

I ආරක්ෂක වාර්තාකරු

මහර බන්ධනාගාර සිද්ධියේදී ඩල්සිෆාම් නැමති ඖෂධය රැඳවියන් අතර බෙදාගනිමින් පානය කර ඇති බවත් ඒ නිසා මේ ගැටුමට එය හේතු වී තිබේද යන්න විශේෂඥ මතයකින් තහවුරු කළයුතු බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව මගින් දන්වා තිබේ.

බන්ධනාගාරය තුළ කෝවිඩ් වසංගතය පැතිරීම හේතුවෙන් මෙම උද්ඝෝෂණය සිදුවී ඇති බවත් එය සාධාරණ බවත් දන්වන කමිටුව නිලධාරීන්ගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් එය සිදුවුණාද යන්න අවසන් වාර්තාවෙන් දැනුම් දෙන බවත් එම කමිටුව දන්වා ඇත.

කෙසේ වෙතත් 30 වැනිදා වතුරත් ආහාරත් රැඳවියන්ට නොලැබී ඇති බවත් ජලය ඉල්ලගෙන ප්‍රධාන දොරටුව අසලට පැමිණි අවස්ථාවේ වෙඩි තබා ඇති බවත් සාක්ෂි හරහා දැනගන්නට වූ බව එම කමිටුව සඳහන් කර තිබේ. එසේම මහර බන්ධනාගාරයේ රැඳවියන් 2782 සිටින බවත් ඉන් 2148ක් රිමාන්ඩ් සැකකරුවන් බවත් අනෙක් පිරිස දඬුවම් ලබන අය බවත් එය මහර බන්ධනාගාරයේ ප්‍රමාණයට වඩා තුන්ගුණයකින් වැඩි බවත් කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත. ඒ අනුව වහාම රැඳවියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමටත්, නිවෙස්වලට කතා කිරිමට දුරකථන පහසුකම් ලබාදීමටත් ආහාරයට ගත හැකි ආකාරයේ ආහාර වේලක් ලබාදීමටත් ලෙසත් එකී කමිටුවේ නිර්දේශ වී තිබේ.