2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

සුරාබදු තනතුරු පහෙන් එකක් පුරප්පාඩුයි

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

I ව්‍යාපාරික වාර්තාකරු

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු වැටලීම් පරීක්ෂණ කටයුතු හා වෙනත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අවශ්‍ය සේවකයන් රැසකට අදාළ පුරප්පාඩු නොපිරවීමෙන් බරපතළ අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

සුරාබදු දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට දැනට එහි අනුමත කාර්ය මණ්ඩලයෙන් 20%ක් තනතුරු පුරප්පාඩු වී තිබේ. අප වෙත ලැබෙන එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනුව දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය රාජකාරි සඳහා සේවක සේවිකාවන් 1592ක් අවශ්‍ය නමුත් දැන් එහි සිටින්නේ සේවකයන් 1300ක් පමණය. සේවකයන්ගේ පුරප්පාඩු ගණන 292කි.

මෙහි වඩාත් පුදුම සහගත කරුණ වන්නේ ආයතනයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා සිටිය යුතු ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් 67 දෙනාගෙන් දැනට සිටින්නේ සේවකයන් 32ක් පමණක් වීමය. ඉහළ පරිපාලන තනතුරු 35ක් පුරප්පාඩුය. එම පුරප්පාඩු 35න් 24ක් අවුරුදු 5ක් තිස්සේම පුරප්පාඩු වී තිබීම නිසා නියමිත රාජකාරි නිසි ලෙස සිදු නොවන බවද සඳහන් වෙයි. රජයට ආදායම් එකතු කරන ප්‍රධාන ආයතන තුනෙන් එකක් වන සුරාබදු දෙපාර්තමේන්තුවේ පවත්නා මෙම තත්ත්වය වහා වෙනස් කළ යුතු බව නම් සඳහන් නොකළ එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.