දේශපාලන වාර්තාකරු l
වත්මන් ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේදී උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතීන් රැක දීමට ඉන්දීය රජය මැදිහත් විය යුතු යැයි දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඔහු මෙම ඉල්ලීම කළේ පසුගියදා මෙරටට පැමිණි දොවාල් මහතා ඉන්දීය තානාපති නිල නිවසේදී හමුවූ අවස්ථාවේදීය. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ සම්පන්දන් මහතා පළාත් සභා මැතිවරණය ඉක්මණින් පැවැත්වීමට මැදිහත් වන ලෙසත්, දැනට මෙරට ජනතාවට ලබාදී ඇති පළාත් සභා ක්‍රමය තවදුරටත් ආරක්ෂා කරගත යුතු බවත් පෙන්වා දී ඇත. එය දෙමළ ජනතාවට ලැබුණ අවම සහනය යැයිද කියා තිබේ. මේ හැර උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සඳහාද ඉන්දීය රජය මෙයට වඩා මැදිහත් විය යුතු යැයි සම්පන්දන් මහතා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයාට දැනුම් දුන්නේය.
මෙම ඉල්ලීම්වලට සවන්දුන් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා තමන් මේ ගැන අගමැති මෝදි මහතාට දැනුම්දෙන බව කියා ඇත. නරේන්ද්‍ර මෝදි පාලනයේ බලවත්ම රාජ්‍ය නිලධරයා ලෙස සැලකෙන අජිත් දොවාල් මහතා එරට කැබිනට් අමාත්‍ය මට්ටමේ රාජ්‍ය නිලධරයෙකි.