I සුගත් පී. කුලතුංගආරච්චි
දැනට අවසන් අදියරට ළඟාවෙමින් ඇති කොවිඩ්-19 එන්නත් අතරින් එකක් ලංකාවට ලබාගැනීමට නම් රුපියල් කෝටි 1000ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. නිදසුනක් ලෙස මෙඩෙර්නා නමින් නම්කර ඇති එන්නත ද්විත්ව මාත්‍රාවක් රුපියල් 11,000 (අමෙරිකන් ඩොලර් 60කට) මිලකට මූලිකව හඳුන්වා දීමටත් එය සාර්ථක වුවහොත් මිල දෙගුණ කිරීමටත් බලාපොරොත්තුව සිටියි. එසේ වුවහොත් එක් එන්නතක මිල රැපියල් 22,000ක් පමණ වෙයි.
මේ වන විට ලෝකයේ එන්නත් නිෂ්පාදන සමාගම් අතර සිය නිෂ්පාදනය අලෙවි කර ගැනීමේ තරගය එළිපිටම ඇරඹී හමාරය. සිය එන්නත වඩාත් සාර්ථක බව කීමට ඔවුහු දිනපතා වෙනස් ප්‍රගති වාර්තා ඉදිරිපත් කරමින් සිටිති. මේ එන්නත් අතර අඩු මිල එන්නතක් ලෙස ඉදිරිපත්ව ඇත්තේ රුසියානු එන්නතය. නමුත් වඩාත් සාර්ථක යැයි කියන බටහිර එන්නත් අතරින් එකක් ලබාගැනීම සඳහා ඉහත මිල ගණන් අනුව ලංකාවට දළ වශයෙන් රුපියල් කෝටි 1000ක් පමණ ගෙවීමට සිදුවනු ඇත.
ලෝකයේ මේ වන විට කොවිඩ්-19 සඳහා එන්නත් 200ක් පමණ නිෂ්පාදනය වී ඇති අතර ඉන් 42ක්ම මිනිසුන් යොදා පරීක්ෂාවට ලක් කෙරෙන මට්ටමේ පවතී. මේ එන්නත් අතරින් 10ක් පමණ 3 වැනි අදියරේ සායනික මට්ටම පසුකර ඇත.
නමුත් මේ දිනවල බහුලව කතාබහට ලක්වන මොඩෙර්නා, ෆයිසර්, ඔක්ස්ෆර්ඩ්, ජාන්සෙන් සහ රුසියානු එන්නත් ඇතුළුව මේ කිසිදු එන්නතක සඵලතාව (efficacy) සහ ආරක්ෂාව (safety) පිළිබඳ විද්‍යාත්මක වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු පිළිගත් ආයතනවල නිසි අනුමැතියට තවමත් ලක්වී නැත. එබඳු අනුමැතියක් ලැබීමට ද තව මාස 6කට වැඩි කාලයක් ගත වනු ඇතැයි ද, එනිසා ඉහළ අවදානමක් සහිත කණ්ඩායම් සඳහා පමණක් වුවද එම එන්නත් ලබාදීම සඳහා 2021 පළමු කාර්තුව පසුවන තුරැ බලා සිටින්නට සිදුවිය හැකි බව ද ලංකාවේ WHO නියෝජිත වෛද්‍ය රයිසා පෙන්ඩ්සේ පෙන්වා දෙයි.