| විශේෂ වාර්තාකරුවකු විසිනි
රාමඤ්ඤ නිකායේ අභිනව මහානායක ස්වාමින් වහන්සේ තෝරා පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ සමස්ත ලංකා කාරක මහා සංඝ සභාවේ නායක හිමිවරුන් 107 නමක් අද (ඉරිදා) උදෑසන මහනුවර පල්ලෙකැලේ පළාත් සභා සම්මන්ත්‍රණ ශාලාවට රැස්වෙති. එම නිකායේ ප්‍රාදේශීය සංඝ සභා 47ක් නියෝජනය කරමින් උන්වහන්සේලා වැඩම කරන බව වාර්තා වෙයි.
රාමඤ්ඤ නිකායේ මහානායක නාපාන පේමසිරි හිමියන් අපවත් වීමෙන් හටගත් පුරප්පාඩුව සඳහා අභිනව මහානායක හිමිනමක් තෝරා පත්කර ගැනීමට මෙලෙස සංඝ සභා රැස් කෙරෙයි. නිකාය සම්ප්‍රදාය අනුව අපවත් වූ මහා නාහිමියන්ගේ ආදාහන උත්සවය සිදුවනදාම මෙම තෝරාගැනීම කළ යුතුය.
රාමඤ්ඤ නිකාය සම්ප්‍රදාය අනුව තරගයකින් තොරව ඒක ඡන්දයෙන් අභිනව මහ නාහිමි තෝරාගැනීම සිදු කෙරේ.
අප වෙත ලැබෙන වාර්තා අනුව අභිනව මහානායක පදවියට තෝරා පත්කර ගැනීම සඳහා ඉදිරියෙන්ම සිටින අනුනායක හිමිවරුන් වන්නේ අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල නාහිමියන්, මාතලේ ධම්මකුසල අනුනාහිමියන් සහ ගලපිටියාගම විමලධම්ම අනුනායක හිමියන්ය.