| සුගත් පී. කුලතුංගආරච්චි
අලුතෙන් නිපදවන ඕනෑම කොවිඩ් 19 එන්නතක ක්‍රියාකාරිත්වය පවතින්නේ වසරක කාලයක් පමණක් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ස්නායූ රෝග පිළිබඳ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. මෙම වෛරසයද ඉතා ඉක්මනින් වෙනස්වීම්වලට ලක්වෙන නිසා ඕනෑම එන්නතක ප්‍රබලතාව වසරකදී අවම විය හැකිබව ඔහු පෙන්වා දෙයි.
කෙසේ වුවද එබඳු සාර්ථක එන්නතක් භාවිතයට පැමිණියහොත් එය අප රටටද වහාම ලබා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියාපදිංචි වීමේ කටයුතු මේ වනවිට සිදුකර හමාර බවද ඔහු කීවේය.
දැනට ලෝකයේ එන්නත් 2ක් ගැන වැඩි විශ්වාසයක් පළව තිබේ. මේ එන්නත් 2ම ඒවායේ අවසන් සායනික පර්යේෂණ අවධිය සාර්ථකව පසුකර ඇත. මින් එකක් ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂණාත්මක එන්නතයි. එය වාණිජ වශයෙන් නිපදවන්නට යන්නේ ඉන්දියාවේ ආයතනයක් තුළය. අනෙක ජර්මානූ සහ අමෙරිකානු ප්‍රසිද්ධ ඖෂධ නිෂ්පාදන ආයතන 2ක් මගින් නිපදවන්නට යන එන්නතයි. මේ එන්නත් ලොව පුරා බෙදා හරින්නේ ඒවා ලබාගැනීම සඳහා කැමැත්ත පළකර ලියාපදිංචි වූ ලැයිස්තූවේ ප්‍රමූඛතාව අනුවය.
ඒ අනුව අපේ රටටද මුලින්ම එන්නත් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකර හමාරය. කෙසේ වුවද මේ එන්නත් ලැබෙන්නට නම් ඒවා සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මුලින්ම ලැබිය යුතුය. නමුත් මේ වනතුරු මේ එන්නත් දෙකටම එසේ අනුමැතිය ලැබී නැති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.