I යසවර්ධන රුද්රිගු
කිලෝවකට ශත 25 දක්වා අඩුකර ඇති සුදු සීනි සඳහා වූ ආනයන බද්ද යළි වැඩිකරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇති නිසා, රජය නියම කර ඇති කිලෝවකට රුපියල් 80ක් වූ පාලන මිල ක්‍රියාත්මක කිරීම සම්බන්ධව තීරණයක් ගැනීමට නොහැකි වී ඇතැයි සීනි ආනයනකරැවන්ගේ සංගමයේ සභාපති පැරකුම් මහසෙන් අබේසේකර පැවසීය.
සීනිවලට මුලින් තිබූ කිලෝවකට රුපියල් 40ක් වූ ආනයන බද්ද යළි පැනවුවහොත් පාලන මිලට සීනි අලෙවි කළ නොහැකි බවද ඔහු දේශයට ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ පසුගිය ඔක්තෝබර් මස 13දා සීනි සමගම ලූනු, පරිප්පු සහ සැමන් යන ආහාර ද්‍රව්‍යවල ආනයන බද්දද කිලෝවට ශත 25 බැගින් පහළ බැස්සූ බවය. එහෙත් ඒ කිසිදු ද්‍රව්‍යයක විකුණුම් මිල අඩු වී නොමැති නමුත් අද වැඩිපුරම සාකච්ඡාවට බඳුන්ව ඇත්තේ සීනි මිල පිළිබඳව බවද ඔහු කියයි.
තමන් මේ පිළිබඳ ජනාධිපතිවරයා සමගද සාකච්ඡාවක් ඉල්ලා ඇති බව ඔහු කීය.
පසුගිය 2019 නොවැම්බර් මස සීනිවලට බලපැවැත්වූ කිලෝවකට රුපියල් 50ක් වූ ආනයන බද්ද 2020 සැප්තැම්බර් 13දා ශත 25 දක්වා අඩුකළත් යළිත් සැප්තැම්බර් 29දා කිලෝවකට රුපියල් 40ක බද්දක් පනවා තිබිණ. පසුගිය ඔක්තෝබර් 13දා යළි ශත 25ට බැස්සුවේ එම බද්දය. ඒ අනුව පෙනී යන්නේ සීනිවලට පනවන ආනයන බදු ක්ෂණිකව වෙනස්වන බවය.