2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

නව විනිසුරු නම් පාර්ලිෙම්න්තු සභාවට

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 307

I අධිකරණ වාර්තාකරු

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ දැමීම නිසා අභිනව විනිසුරුවරුන් හය දෙනෙකු පත් කිරීමට අදාළ නිර්දේශය ජනාධිපතිවරයා විසින් නව පාර්ලිමේන්තු සභාවට යොමුකර ඇත.

ඒ අනුව දැනට අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන විනිසුරු එච්.එම්.ඩී.ඒ. නවාස් සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ නම් පාර්ලිමේන්තු සභාවට යවා ඇත. මේ අය ජනාධිපතිවරයා විසින් තෝරාගෙන ඇත්තේ දැනට අභියාචනාධිකරණයේ සිටින විනිසුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙළ අනුව අග විනිසුරුතුමාගේ නිර්දේශය අනුවය.

මෙම ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමත් සමඟ පුරප්පාඩු වන අභියාචනාධිකරණ සභාපති තනතුර සඳහා අභියාචනාධිකරණයේ සිටින අධිකරණ සේවයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයකු පත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
ඒ අතරතුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණු නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීමේදී නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ටද අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබිණි.