I යසවර්ධන රුද්රිගු
පවත්නා වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය යටතේ නැවතත් මිල පාලනයක් දමා සහල් ඇතුළු භාණ්ඩවල මිල අඩුකළ නොහැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමිෙයා් පවසති.
උන්වහන්සේ දේශය පුවත්පතට ප්‍රකාශ කළේ මිල පාලනයක් දැමීම නිසා පාරිභෝගිකයාට සහ නිෂ්පාදකයාට ආරක්ෂා වීමට සුළු නීතිමය රාමුවක් පමණක් සැකසෙන බවය. බාහිරව සිට කෘත්‍රිම ලෙස මිල නියම කිරීම ප්‍රායෝගික නොවන අතර මෙයින් සිදුවන්නේ භාණ්ඩවල ප්‍රමිතිය දුර්වල වීම මෙන්ම කළුකඩ මිලක් නිර්මාණය වීම ආදී අහිතකර ප්‍රතිඵල ලැබීම බව උන්වහන්සේ අවධාරණය කරති.
පාරිභෝගිකයන් විශාල පිරිසක් සහ නිෂ්පාදකයන්ද විශාල වශයෙන් සිටින අවස්ථාවල මිල පාලනය සාර්ථක ලෙස පවත්වාගෙන යාමට නොහැකි බව උන්වහන්සේ කියති. රජය මෙතෙක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති උපරිම විකුණුම් සහ ගැනුම් මිල කොතරම් උත්සාහ කළද ඒ ආකාරයට ක්‍රියාත්මක කළ නොහැකිව ඇත්තේ මෙම ගැටලුව නිසාය යන්න උන්වහන්සේගේ අදහසය.
මෙම මිල පාලනය පිළිබඳ විමසීමේදී පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක පවසන්නේ පාලන මිල ඉක්මවා වැඩිමිලට භාණ්ඩ අලෙවි කරන කූට වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා අතර, වැටලිම්ද ශක්තිමත් කර ඇති බවය.
මේ අතර, ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල කිසිදු හිඟයක් නැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේ පවසා තිබිණි.