2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

ඉහළ උසාවි විනිසුරු පදවි ගණන

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

I අධිකරණ වාර්තාකරු

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ දැමීමට තීන්දු කර තිබේ.

ඒ අනුව මෙතෙක් අගවිනිසුරුතුමන් ප්‍රමුඛ විනිසුරුවරුන් 11 දෙනකුගෙන් සමන්විත වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ නංවා ඇත. එසේම මෙතෙක් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සමඟ විනිසුරුවරුන් 12 දෙනකුගෙන් සමන්විත වූ විනිසුරු මඬුල්ල 19 දක්වා ඉහළ නංවා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 119 සහ 137 වගන්ති සංශෝධනය කරමින් මෙම තීරණය ගත් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාව සඳහා විනිසුරු සංඛ්‍යාව වැඩිකිරීමේ යෝජනාව ඉදිරිපත් කර තිබිණි. එයට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කාරණය ගැන අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සමඟ සාකච්ඡා කර තිබූ අතර නඩු ගොඩගැසී ඇති බැවින් විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ දැමීමට අගවිනිසුරු ද අනුමැතිය පළ කර තිබිණි.
1978 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් හඳුන්වා දුන් ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබූ යට කී විනිසුරුවරුන් සංඛ්‍යාව ගත වූ වසර 42ක කාලය තුළ වැඩිකර තිබුණේ නැත.