2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

ආනයනය අපනයනය බැලන්ස් වෙයි - මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, ප.ව. 06:01 372

දේශපාලන වාර්තාකරු l

මෑත ඉතිහාසයේ ප්‍රථම වරට රටේ භාණ්ඩ ආනයන වියදම සහ අපනයන ආදායම සමාන තත්ත්වයට පත්ව ඇතැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා දේශයට කීය. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මෙම අගෝස්තු මාසය වනවිට ලැබී තිබෙන වාර්තා අනුව රටේ මාස අටක අපනයන ආදායම ඩොලර් මිලියන 960ක් බවය. එසේම ආනයන වියදම ඩොලර් මිලියන 1050ක් බවත් ඔහු සඳහන් කළේය.

කොරෝනා වසංගත තත්ත්වය යටතේ ආනයන සීමා පැනවීමත් අපනයන වර්ධනය කරගැනීමටත් රජය දරන ලද ප්‍රබල උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සුභදායී තත්ත්වය වාර්තා වන බවද ඔහු කීය.

මෙයට පෙර වසර වූ 2019 වසරේ මෙරට සමස්ත අපනයන ආදායම වූයේ ඩොලර් මිලියන 11,000කි. එහෙත් ආනයන වියදම ඩොලර් මිලියන 21,000ක් පමණ විය. 2019 රටේ ආනයන වියදම හා අපනයන ආදායම අතර පරතරය 100%කට ආසන්නව තිබියදී මෙම අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේදී මෙලෙස වියදම් තුළනය කරගැනීම නිසා රටේ පොලී අනුපාතය හා විනිමය අනුපාතය ද ස්ථාවරව පවත්වාගෙන යා හැකි බවද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් කීය.