2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

අලුත් ව්‍යවස්ථාව වසර දෙකකදී - සති අටකින් 19 අහෝසියි : 20 එයි

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

ජනපති ධූර කාලයත් වාර ගණනත් වෙනස් නොවේ
ස්වාධීන කොමිෂන් සභා බලතල අඩුවෙයි
අතුරුදන් වූවන්ගේ කොමිසමේ ප්‍රබල වෙනසක්
පොලිස්, අල්ලස්, මැතිවරණ, මානව හිමිකම් සභාවල බලතල සංශෝධනයට

දේශපාලන වාර්තාකරු I

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව නව රජයේ දෙවැනි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ. ඉදිරි සති අටක කාලය තුළ එය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමටද රජය තීන්දු කර ඇත.

දැනට මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදුකෙරේ. ඉන්පසුව වසර දෙකක කාලයක් තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහාද රජය තීන්දුවක් ගෙන ඇත. අභිනව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා වත්මන් ව්‍යවස්ථාව සංශෝධනයට අදාළ මූලික කෙටුම්පත මේ වනවිටත් සකස් කර තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමත් සමඟ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වෙයි. එහෙත් එහි ප්‍රධාන වගන්ති ගණනාවක්ද සංශෝධනය කිරීමට නියමිතය. ජනාධිපතිවරයාගේ ධුර කාලය 18 වැනි සංශේධනය අනුව වසර 6කි. එසේ වුවත් 20 වැනි සංශෝධනය මගින්ද එය (19 වැනි සංශෝධනයේ සඳහන් ආකාරයට) වසර 5කට සීමා කෙරේ. එසේම ජනාධිපති ධුරයට තරග කළ හැකි වාර ගණන 19 වැනි සංශෝධනයේ තිබූ ආකාරයටම වාර දෙකකට සීමා කෙරෙන විධිවිධාන 20 වැනි සංශෝධනයට ඇතුළත්ය.

ස්වාධීන කොමිෂන් සභාවල බලතල පූර්ණ වෙසකකට ලක් කෙරෙ. එසේම රජයේ උසස් නිලතලවලට සුදුස්සන් පත් කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පත්කිරීම් හා සංයුතියද වෙනස් වෙයි. ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධව බල පවත්වන්නේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කරන ලද ක්‍රමවේදයයි. එවිට එම තනතුරුවලට පත් කිරීමේ වැඩි වගකීම ජනාධිපතිවරයාටම පැවරෙයි. ස්වාධීන කොමිෂන් සභා සම්පූර්ණයෙන් අහෝසි නොකෙරේ. තොරතුරු දැනගැනීමේ කොමිසමට අදාළ වගන්ති නොවෙනස්ව ක්‍රියාත්මකය. එහෙත් අතුරුදන්වූවන්ගේ කොමිසම සම්බන්ධ විශේෂ තීරණ ගණනාවක් ගෙන ඇතැයි වාර්තා වෙයි. එසේම පොලිස් කොමිසම, අල්ලස් කොමිසම, මැතිවරණ කොමිසම හා මානව හිමිකම් කොමිසමේ බලතල සෑහෙන පමණ සංශෝධනය කෙරේ.

නව ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ ජනාධිපතිවරයාට අමාත්‍ය පදවි දැරීමට නීතිමය අවසරය හිමිවන අතර ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ තරග කිරීමට තිබූ නීතිමය බාධාවන්ද ඉවත් කෙරේ.