2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

නව කැබිනට්ටුව දිවුරුම් දීම 14දා මඟුල් මඩුවේදී

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 504


දේශපාලන වාර්තාකරු I

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවැනි අමාත්‍ය මණ්ඩලය ලබන 14දා සිකුරාදාට යෙදෙන සුබ මොහොතින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිතය.

නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී කලින් අමාත්‍යවරුන් විෂයන් ගණනාවක් වෙනස්කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව අභිනව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කරනු ලබන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස්ය. හිටපු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට වාරිමාර්ග අමාත්‍යංශය හිමිවීමට නියමිත බව කියැවේ.

නාමල් රාජපක්ෂ මහතාට තරුණ කටයුතු හෝ වෘත්තීය පුහුණු අමාත්‍යංශ දෙකෙන් එකක් හිමිවනු ඇත. උදය ගම්මන්පිල මහතාට පරිසර හා වනජීවී අමාත්‍යංශය හිමිවනු ඇතැයි වාර්තා වෙයි. ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයට පත්කෙරෙයි.

මේ හැර අලුතින් අමාත්‍ය මණ්ඩලයට එක්වීමට නියමිත මන්ත්‍රීන් අතර මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර ආදීන්ද වන බව වාර්තා වෙයි. ආර්ථික කටයුතු සම්බන්ධ නව විෂයක් සහිත රාජ්‍ය අමාත්‍යංශයක් නිර්මාණය කෙරේ. එම අමාත්‍යංශය වන්නේ සමෘද්ධි දේශීය ආර්ථිකය, ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු ස්වයංරැකියා ව්‍යාපාර සංවර්ධන, ඌණ උපයෝගිතා රාජ්‍ය සම්පත් සංවර්ධනය විෂයයි. එහි රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ ආචාර්ය නාලක ගොඩහේවා බවද සඳහන්ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංස්කෘතික සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය පදවිය යෝජනා කර තිබිණි. එහෙත් එම විෂය අවසන් මොහොතේ වෙනස්වීමට ඉඩ ඇතැයි සඳහන් විය. ඒ හැර ශ්‍රීලනිපයට තවත් එක් අමාත්‍ය පදවියක් හිමිවෙයි.

මේ අයට අමතරව අජිත් නිවාඩ් කබ්රාල් සහ ශෙහාන් සේමසිංහ මහත්වරු මුදල් රාජ්‍ය ඇමැතිවරැන් ලෙස පත් කෙරෙති.