2020 ජුලි 11 වන සෙනසුරාදා

උසස් පෙළට දිනය දීමට සිසු මත සමීක්ෂණයක්

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 28

I දේශපාලන වාර්තාකරු

අපොස උසස් පෙළ විභාගය පවත්වන දිනය තීරණය කිරීම සඳහා අන්තර්ජාල ජනමත සමීක්ෂණයක් පවත්වා තිබේ. මෙයට සහභාගීවීමට අවසර ලැබුණේ උසස් පෙළ පාසල් දරු දැරියන්ට පමණි. පසුගිය සිකුරාදා එම සමීක්ෂණය හමාරවිය.

එහිදී විමසා සිටියේ අපොස උසස් පෙළ විභාගය සැප්තැම්බර් 7 දින පැවැත්විය යුතුද නැතිනම් තවත් කල්දැමිය යුතුද යන ප්‍රශ්නයයි.

එහි ප්‍රතිඵලය අනුව විභාග දිනය නියම කරන බව විභාග දෙපාර්තමේන්තුව කියයි. කෙසේ වෙතත් අපේක්ෂකයන්ගෙන් අසා විභාග දිනයක් නියම කරන්නේ පළමු වතාවටය. එහෙත් විවිධ හේතු  දක්වමින් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් තවදුරටත් විභාග දිනය ප්‍රමාද කිරීම ගැන දෙමව්පියන් දරුවන් සහ විදුහල්පතිවරු විරෝධය පළකරති.

ලංකා ගුරුසේවා සංගමයේ සභාපති මහින්ද ජයසිංහ මහතාද නිවේදනයක් මගින් කියා තිබුණේ සමීක්ෂණ මගින් කල් මරන්නේ නැතිව දරුවන්ට ඉදිරි කටයුතු සැලසුම් කර ගැනීම සඳහා වහාම විභාග දිනය නියම කරන ලෙසයි. මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට දරු දැරියන් 3,63,000ක් පමණ පෙනී සිටින බැවින් වහා විභාගය ගැන තීන්දුවක් ගතයුතු යැයි ඔහු පෙන්වා දෙයි. මෙයට පෙර අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර තිබුණේ පාසල් වාරය ආරම්භ කළ සැණින් විභාග දිනය කියන බවය.