2020 ජුලි 11 වන සෙනසුරාදා

කන්දකාඩු ගිය 196ට දැළ එලයි

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 175

ජයන්ත සමරකෝන් l

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනලාභීන් බැලීමට පසුගිය දිනවල ආගිය 196 දෙනකුගේ තොරතුරු සොයාගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි, එම මධ්‍යස්ථානය පවසයි. මේ වනවිට (10) එම මධ්‍යස්ථානයේ 252 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බැවින්, එහි සිටි පුනරුත්ථාපනයවන්නන්  474ක් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 131ක් ඇතුළු 605 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුකර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඊට නුදුරින් පිහිටි සේනපුර ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරැත්ථාපන යවන්නන් 420ක් රඳවා සිටින බවද පැවසේ.

මේ වනවිට කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යාබද ගොඩනැගිල්ලක් කොරෝනා ආසාදිතයන් රැඳවීම සඳහා රෝහලක් ලහිලහියේ සකස් කරගෙන යන අතර, ඒ සඳහා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලාල් පනාපිටිය මහතා ඇතුළු උසස් සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් සිටින බවද වාර්තාවේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, මෙම කොරෝනා රෝහල ඉදිකිරීම සඳහා යුදහමුදාව යොදවා ඇති බවය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යංශයට අයත් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා යටතේ පාලනය වේ.

වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ කොරෝනා ආසාදිත රැඳවියා රඳවා සිටි සිර වාට්ටුවේ රැඳවියන් 174ක්ද මෙම මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමුකර සිටිති.