I යසවර්ධන රුද්රිගු
ලබන මැයි මස 15 දිනෙන් පසුව රටේ සහල්, පරිප්පු සහ සැමන් මෙන්ම ආනයනය කරන ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න පවසයි.
රුපියල් 50කට වී කිලෝවක ගැනුම් මිල නියම කර ඇති නිසා ආණ්ඩුව නියම කර ඇති පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බව හෙතෙම පෙන්වා දෙයි. අනාගතයේදී කැකුළු සහල් කිලෝව රුපියල් 100 දක්වා මිල ඉහළ යා හැකි අතර නාඩු 105, සම්බා 110 දක්වා මිල ඉහළ යන බවට ඔහු අනතුරු හඟවයි.
ආණ්ඩුව උපරිම සිල්ලර මිල නියම කළද මයිසූර් පරිප්පු කිලෝව රුපියල් 180ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සිංහල අලුත් අවුරුද්දට පෙර ඇමෙරිකානු ඩොලරය රුපියල් 180 මට්ටමේ පැවතුණද, අද වනවිට 195-200 දක්වා රුපියල අවප්‍රමාණ වී ඇති නිසා ඉදිරියට ආනයනය කරන ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යා හැකි බවද ඔහු කියයි. ඒ අනුව අද රුපියල් 180ට අලෙවි කරන පරිප්පු කිලෝව ඉදිරියේදී රුපියල් 200ක්ද එසේම රුපියල් 220ක් බවට පත්ව ඇති සැමන් ටින් එකක මිල රැපියල් 250ක්ද වනු ඇති බවද ඔහු කියයි.