I සුගත් පී කුලතුංගආරච්චි
කොවිඩ් 19 රෝගින් සංඛ්‍යාව ඉහළ යාමේ ඉක්මන් ප්‍රවණතාවක් ඇතිවුවහොත් දැනට පවතින රජයේ රෝහලක් කොවිඩ් 19 සඳහා වු රෝහලක් බවට පරිවර්තනය කරන බව වසංගත විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර කියයි. චීනයේ හෝ ඉතාලියේ මෙන් රෝග ආසාදිතයන් සංඛ්‍යාව වහා ඉහළ ගියහොත් එම පියවර ගන්නා බව ඔහු පැවසීය.
සිකුරාදා වනවිට රජයේ රෝහල් 11ක සැකසහිත රෝගීන් 64ක් වාර්තා විය. ඉන් 08ක් විදේශිකයන්ය. මේ අතරින් රෝගීන් බව සනාථ වී ඇත්තේ තිදෙනෙකි. ඉන් එක් අයෙක් විදේශිකයෙකි. මේ වනවිට විදෙස් රටවල සිට පැමිණ මෙරට නිරෝධායනයට යොමුව සිටිනා පිරිස 1050කි. වෛද්‍ය සමරවීර පවසන්නේ 2000-2500ත් අතර පිරිසකට පහසුකම් සැපයීමට දැනට ඇති දියතලාව, කන්ද කාඩු සහ බැටික්ලෝ කැම්පස් මධ්‍යස්ථානවලදී හැකි බවයි. මේ අතර කොරෝනා හඳුනා ගැනීමේ පරීක්ෂණ පහසුකම් විමධ්‍යගත කිරීමටද කටයුතු යොදා ඇත. බාහිර පෞද්ගලික ආයතනවලින් මෙම පරීක්ෂණය සිදුකිරීමට රුපියල් 17000කට වැඩි මුදලක් වියදම් කිරීමට ජනතාවට සිදුවන හෙයින් මෙම පියවර ගෙන ඇත. ඒ අනුව අනුරාධපුර, නුවර සහ කරාපිටිය රෝහල්වලට දැන් මේ පහසුකම සලසා තිබේ.