
| සකීෆ් සාම් තන්වීරි
පක්ෂය තීන්දු කළ ඕනෑම අවස්ථාවක තමා මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට සූදානම් යැයි මුස්ලිම් කොංග්‍රස ජාතික ලැයිස්තු මන්ත්‍රී සල්මාන් මහතා දේශයට පැවසීය. ළඟදීම එම මන්ත්‍රී ධූරයට නව මන්ත්‍රීවරයකු පත්වීමට නියමිත යැයිද හෙතෙම පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මම හිතන්නේ පත්කිරීම පරක්කුවෙන්නේ මන්ත්‍රී ධූරයට තියෙන තරගය හින්දා. එක් මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් විශාල පිරිසක් විවිධ හේතූන් කියමින් අයිතිවාසිකම් කියනවා. සමහරු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ. සමහරු ඡන්දෙ ඉල්ලලා පැරදුණු අය. සමහරු ඒ ප්‍රදේශයට මන්ත්‍රී ධූරයක් දෙනවා කියලා පොරොන්දු වුණා කියලා අයිතිවාසිකම් කියනවා. මම හිතනවා මන්ත්‍රී ධූර ගැටලුව ළඟදීම විසඳෙයි. ඒ වුණත් මේ සම්බන්ධයෙන් තියෙන ප්රශ්නය ඉවර වෙන්නේ නැහැ. මොකද මන්ත්‍රී ධූරය දෙන්න පුළුවන් එක්කෙනකුට විතරයි. ඊට පස්සෙත් නොසෑහුණ අයගෙන් තවත් මෙහෙයුමක් දියත් වෙන්න පුළුවන්.
සල්මාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ එම මන්ත්‍රී ධූරය වන්නි දිස්ත්‍රික්කයට ලැබිය යුතු බවයි. මුස්ලිම් කොංග්‍රසයට 1989 සිට අඛණ්ඩව නියෝජනයක් තිබුණ ප්‍රදේශයක් වන වන්නි දිස්ත්‍රික්කයට මේවර නියෝජනය අහිමි විය. එය පක්ෂයටත් වන්නි දිස්ත්‍රික්ක ජනතාවටත් බලවත් පාඩුවක් යැයිද මන්ත්‍රීවරයා කීය.