2017 මාර්තු 18 වන සෙනසුරාදා

හම්බන්තොටින් චීනෙට දෙන පංගුව අඩුකරයි

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56


හම්බන්තොට රුහුණු මාගම්පුර වරාය චීන සමාගමකට පැවරීමට අදාළ ගිවිසුම නැවතත් වෙනස් කිරීමට රජය තීන්දු කර තිබේ.

රජයේම පාර්ශ්ව ගණනාවකින් මෙම ගිවිසුමට එල්ල වී තිබෙන විරෝධය නිසා අදාළ තීන්දුව ගත් බව රජයේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග කියයි.

කලින් යෝජනාකර තිබුණේ මහා භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ ඇති අර්ධ රාජ්‍ය සමාගමක් බවට පත්කොට එහි කොටස්වලින් 80%ක් පමණ චයිනා මර්චන්ට් සමාගමට පැවරීමටයි. 80% කොටස් පැවරීමට එරෙහිව වරාය වෘත්තීය සංගම් මෙන්ම ආණ්ඩුවේ පාර්ශ්ව ගණනාවක් දැඩි විරෝධය පළකර තිබිණි. රජයට ව්‍යාපෘතියෙන් ලැබෙන ඩොලර් කෝටි 110ක මුදලට වඩා කොටස් ප්‍රමාණය වටිනා බවට එම පාර්ශ්ව තර්ක කළෝය.

මේ නිසා රජය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. චයිනා මර්චන්ට් සමාගමට වරායේ කොටස්වලින් 70%ක් පැවරීමටත් වරාය අධිකාරියට 20%ක් පැවරීමටත්, ඉතිරි 10%ක ප්‍රමාණය වෙනත් දේශීය සමාගමකට වෙළෙඳපොළ මිලට අලෙවි කිරීමටත් හැකිවන ලෙස ප්‍රතිපාදන සැලැසිය යුතුය යන්න නව යෝජනාවෙහි දැක්වෙයි. ඒ අනුව චීන සමාගමට පැවරීමට මුලින් එකඟ වූ 80% කොටස් ප්‍රමාණය 70%කට අඩුවෙයි. මේ යෝජනාව රජයේ ආර්ථික කවුන්සිලයටත් පසුව අමාත්‍ය මණ්ඩලයටත් ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇත. එබැවින් මේ සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ හම්බන්තොට වරාය පැවරීමේ ගිවිසුම ඉදිරිපත් නොකෙරුණි.

එහෙත් නීති අංශ පෙන්වා දෙන්නේ හම්බන්තොට වරාය අර්ධ රාජ්‍ය සමාගමක් බවට පත් කරන්නේ නම් එයට පෙර වරාය අධිකාරි පනත සංශෝධනය කළ යුතු වගය. එහෙත් වරාය අමාත්‍යංශය හා ජනාධිපතිවරයා සහ තවමත් වරාය අධිකාරී පනත සංශෝධනයට සිය අනුමැතිය පළකර නැතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

I දේශපාලන වාර්තාකරු