දේශපාලන වාර්තාකරු l
ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ජනාධිපතිවරණයට පසුව සිදුකරන ලෙස ජනාධිපතිවරයා විපක්ෂනායකවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත.
විපක්ෂ නායකවරයා මේ ගැන නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඡන්දයට පෙර මෙය රහසිගතව අත්සන් කිරීම සහමුලින්ම වැරදි බවත් පාර්ලිමේන්තුවට ගිවිසුම ඉදිරිපත් කොට එහි විවාදයකින් පසු මැතිසබය අනුමත කරයි නම් ගිවිසුම අත්සන් කිරීම සුදුසු බවත්ය.
මේ ගැන මුදල් අමාත්‍යවරයාට විශේෂ දැනුම්දීමක් කළ ජනාධිපතිවරයා ඡන්දයට පෙර ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවන ලෙස නියම කර තිබිණි. නීතිඥ සංගමය සිය නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ගිවිසුම රටේ ස්වෛරීත්වයට හානිදායක බැවින් එය අත්සන් නොකළ යුතු බවයි.
මෙම ගිවිසුමේ කොන්දේසි අනුව ආර්ථික කොරිඩෝවක් සඳහා හෙක්ටයාර 12,000ක් වෙන්කරදීමට බරපතළ විරෝධයක් එල්ල වී ඇත. මෙම ඉඩම් පර්චසයක වටිනාකම රුපියල් 180/-ක මුදලකට තක්සේරු කිරීමද බලවත් වරදක් බව විපක්ෂය දැනටමත් පෙන්වාදී ඇත.
කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ඇමෙරිකානු ගිවිසුම මගින් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් හිමිවන බවත් එය ජනාධිපතිවරණයට පෙර අත්සන් කිරීමට අදහස් කරන බවත්ය.