දේශපාලන වාර්තාකරු l
ඉදිරි ජනාධිපතිවරණය සඳහා සැකසෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පාදනයේදී ඉටුකළ නොහැකි ආර්ථික පොරොන්දු ලබාදීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
පසුගියදා පොදුජන පෙරමුණ ප්‍රතිපත්ති සම්පාදකයන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේය.
රටේ පවත්නා ආර්ථික තත්ත්වය හා ජනතාව පීඩාවට පත් කරන සමාජ ප්‍රශ්නවලදී සමාජයට සහන ලබාදිය යුතු වුවත් ජනතාව රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතු යැයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. දැන් ආණ්ඩු පක්ෂයේ ඡන්ද වේදිකාව මෙබඳු කිසිදු ඉටුකළ නොහැකි පොරොන්දුවලින් පිරී ඇතැයි කී හෙතෙම ඉදිරි ජනාධිපතිවරණයත් සමඟ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීමට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට පූර්ණ සහය දිය යුතු යැයිද කීය.