2019 ජුලි 20 වන සෙනසුරාදා

වැස්සෙන් සුළගින් පවුල් 3500ක් අනාථයි

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

චමිඳු නිසල් l

දිවයින පුරා ප්‍රදේශ රැසක ඇතිවූ අධික වර්ෂාව  සහ නායයාම් තත්ත්වයන් හේතුවෙන් පවුල් තුන්දහස් පන්සිය හතළිස් පහක් පීඩාවට පත්ව ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එක් පුද්ගලයකු මියගොස් තවත් අයෙක් අතුරුදන්ව ඇත.

නිවාස දෙකකට පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව එකසිය තිස් දෙකකි. සිකුරාදා වන පීඩාවට පත්ව සිටි සමස්ථ පිරිස දොළොස් දහසකට අධික බවද වාර්තා වෙයි.

මේ අතර ඉදිරි සතියේදී දිවයිනේ නිරිතදිග කොටසේ වර්ෂාපතනයේ සහ සුළං තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  ජනරාල් අතුල කරුණානායක මහතා දේශයට පැවසීය. සති අන්තයේදී ප්‍රදේශ කිහිපයක වැසි සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් මෙම කාලගුණ තත්ත්වය හටගෙන ඇති බවත් ඒ මහතා පැවසීය. අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි තිබූ කළු ගඟ සහ කැලණි ගඟ ජල මට්ටම් සිකුරාදා වනවිට පහළ ගොස් ඇතැයි වාර්තා විය.