2019 ජුනි 29 වන සෙනසුරාදා

පෝරකේට නියමවූවන්ගේ දරුපවුල් කැළඹිලා

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 48

I ජයන්ත සමරකෝන්

මත්කුඩු චෝදනා මත මරණ දඬුවම් ලැයිස්තුවේ සිටින 18 දෙනා අතරින් පළමුව එල්ලුම්ගහට යන සිව්දෙනා කවුරුන්ද? යන්නන් කවදා එල්ලා මරන්නේද? යන්නන් මෙතෙක් හෙළි නොවීම නිසා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි ලෙස කැළඹීමට පත්ව සිටින බවද දැනගන්නට තිබේ.

මේ අතර ඇතැමකු අදාළ තීරණයට එරෙහිව ජනාධිපතිවරයාට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට යුහුසුළු වන බවත්, තවත් පිරිසක් එල්ලුම්ගහ ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා අවශ්‍ය දේශීය හා විදේශීය බලපෑම් කිරීමට තම පවුල්වල සාමාජිකයන් පොළඹවන බවත් සඳහන්ය.

මෙම ජනාධිපති තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම, සිරකරු අයිතිවාසිකම් සුරුකීමේ කමිටුවේ නියෝජිතයන් පිරිසක් 26 වැනිදා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හමුවී පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇතැයිද කියති.
මේ පිළිබඳව කරන ලද විමසුමකදී එම සංගමයේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා කීවේ ඉදිරි දිනයක මෙම තීන්දුවට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන බවය.

ඒ සමඟම ජනාධිපතිවරයා ගෙන ඇති මෙම තීන්දුවට එරෙහිව අධිකරණයට යන බවද ඔහු කීවේය.