2019 ජුනි 22 වන සෙනසුරාදා

සාර්ක් මහලේකම් ඇසළ වීරකෝන්

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 540

I දේශපාලන වාර්තාකරු

සාර්ක් සංවිධානය හෙවත් දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ අභිනව මහ ලේකම්වරයා ලෙස ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසළ වීරකෝන් මහතා පත් කෙරෙනු ඇතැයි දේශයට වාර්තාවෙයි. ඒ සඳහා වන නාමයෝජනාව ශ්‍රී ලංකාව විසින් දැනටමත් ඉදිරිපත් කර තිබේ.

ඇසළ වීරකෝන් මහතා නෝර්වේහි ශ්‍රී ලංකා තානාපති ධුරයත්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයත්, විදේශ ලේකම් ධුරය හා සංචාරක ප්‍රවර්ධන අමාත්‍යංශ ලේකම් ධුරය යන උසස් තනතුරුත් දැරූ ජ්‍යෙෂ්ඨතම විදේශ සේවා නිලධාරියෙකි.

සාර්ක් සංවිධානයේ පිළිවෙත අනුව ඉදිරි වසර තුනක කාලයක් සඳහා මහ ලේකම් ධුරයට ශ්‍රී ලාංකික නිලධරයකු නම් කළ හැක. මෙයට පෙර මෙම තනතුර දැරු එකම ශ්‍රී ලාංකිකයා හිටපු විදේශ ලේකම්වරයකු වන නිහාල් රුද්‍රිගු මහතාය.
මෙවර මහ ලේකම් තනතුර සඳහා නම්කර සිටින ඇසළ වීරකෝන් මහතාගේ නාමයෝජනාව සාමාජික රටවල් විසින් අනුමත කළ පසු අදාළ පත්වීම සිදුකෙරේ.

ඒ අනුව ඔහු ලබන මාර්තු මස 01දා නේපාලයේ සාර්ක් මහ ලේකම් කාර්යාලයේදී අභිනව ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය. 2020 සිට වසර තුනක කාලයක් සඳහා මෙම පත්වීම වලංගුය. මෙහිදී සාර්ක් සංවිධානයට අයත් රටවල් 8ක රාජකාරි ඔහුට පැවරෙනු ඇත.

නව පත්වීම් ලබන ඇසළ වීරකෝන් මහතා අගමැතිවරුන් 7 දෙනකුගේ ලේකම් ධුරය දැරැ ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරි බ්‍රැඩ්මන්ඩ් වීරකෝන් මහතාගේ පුත්‍රයාය.