2019 ජුනි 22 වන සෙනසුරාදා

ජනාධිපතිවරණය සන්ධාන තුනක සටනක්

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 28

I දේශපාලන වාර්තාකරු

ඉදිරි ජනාධිපතිවරණය ප්‍රධාන සන්ධාන තුනක සටනක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සඳහා එ.ජා.ප.ය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණද,  ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද (පොහොට්ටුව) සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ දැනටමත් මූලික සංවිධාන කටයුතු ආරම්භ කර ඇත.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට අයත් සියලු පක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට තරග වදින්නේ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නම් වූ නව සන්ධානයකිනි. එ.ජා.ප.ය නම් කරන ජනාධිපති අපේක්ෂකයා එම සන්ධානය තුළින් තෝරාගන්නා බව එ.ජා. පෙරමුණු ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට ප්‍රකාශ කළේය. එම සන්ධානය ඉදිරි සති දෙක තුළ මූලික සංවිධාන කටයුතු ඇරැඹීමට නියමිතය.

ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් පක්ෂ ගණනාවක් හා පොදු සංවිධාන ගණනාවක එකතුවෙන් නව ජාතික සන්ධානයක් ආරම්භ කෙරේ. එම සන්ධානය නියෝජනය කරමින් අපේක්ෂකයකු ජනාධිපතිවරණයට තරග කරන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. දැනටමත් මේ සන්ධානය සඳහා දේශපාලන පක්ෂ ගණනාවක් හා සංවිධාන පහළොවකට වැඩි ගණනක් සමඟ සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.

මෙම සන්ධාන දෙකට අමතරව ජනතා විමුක්ති පෙරමුණ විසින් ජාතික ප්‍රගතිශීලී සන්ධානය නමින් තවත් සන්ධානයක් ආරම්භ කිරීමට නියමිතය. ජ.වි.පෙ. ආරංචි මාර්ග සඳහන් කරන්නේ නව දේශපාලන සන්ධානය තුළින් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සැලසුම්කර ඇති වගයි. එලෙස ඉදිරිපත් කෙරෙන්නේ ජනතා විමුක්ති පෙරමුණු මතවාදය අනුමත කරන විද්වත් වෘත්තිකයකු බව දැනගන්නට ඇත.

මෙම සන්ධාන තුනට අමතරව නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලෙවත්ත ඇතුළු තවත් ස්වාධීන අපේක්ෂකයන් ගණනාවක් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.