2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

නොරොච්චෝලේ මෙගාවොට් 60ක් හංගලා

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 517

සංජීවිකා සමරතුංග l

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අබලන්ව තිබූ විදුලි ජනක යන්ත්‍රය අලුත්වැඩියා කළද එයින් ලබාගත හැකි උපරිම විදුලිය ධාරිතාවෙන් මෙගාවොට් 60ක් ජාතික පද්ධතියට තවමත් එකතු කර නැතැයි විදුලිබල වෘත්තීය සංගම් පවසයි.
නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 280 බැගින් විදුලිය ජනනය කරන යන්ත්‍ර තුනක් ඇතත් එහි තුන්වැනි යන්ත්‍රයෙන් දැනට ලබාගන්නේ මෙගාවොට් 220ක් පමණක්යැයි එහි වෘත්තීය සංගම් ප්‍රකාශකයෙක් සඳහන් කළේය. පෞද්ගලික සමාගම්වලින් විදුලිය වැඩි මිලට මිලදී ගැනීම උදෙසා මෙලෙස ක්‍රියා කරන්නේද යන්න විදුලිබල මණ්ඩල බලධරයන් ජනතාවට පැහැදිලි කළ යුතු යැයි ද හෙතෙම කීය. 

පවත්නා විදුලිය හිඟකම නිසා පෞද්ගලික අංශයෙන් විදුලිය මෙගාවොට් 500 මිලදී ගැනීමට විෂය භාර අමාත්‍යවරයා කැබිනට් අනුමැතිය ඉල්ලා තිබුණි. එහෙත් දැනට රාජ්‍ය අංශය තුළ ආයතන ගණනාවක නිකම් තිබෙන විදුලි ජනක යන්ත්‍රවලින් විදුලිය මෙගාවොට් 200ක් ජාතික පද්ධතියට ලබාගත හැක. නොරොච්චෝලෙන් ලැබිය යුතු මෙගාවොට් 60 ද ඊට එකතු කළහොත් එය විදුලිය මෙගාවොට් 260ක් බවට පත්වෙයි.

විදුලිය මෙගාවොට් 260ක් යනු පිටතින් ඉහළ මිලට මිලදී ගැනීමට යන විදුලිය මෙගාවොට් 500න් හරි අඩකි.