දේශපාලන වාර්තාකරු l
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ලබන සතියේ ශ්‍රී ලංකාව ගැන කෙරෙන සංවාදය සඳහා සහභාගී වන්නේද නැත්ද යන කාරණා ගැන දෙමළ ජාතික සන්ධානය තුළ බරපතළ දේශපාලන ගැටුමක් හටගෙන තිබේ.
එහි හවුල්කාර පක්ෂ දෙකක් වන ටෙලෝ හා ප්ලොට් සංවිධාන නායකයන් වන ඩී. සිද්ධාර්ථන් හා එම්. කේ. සිවාජිලිංගම් පවසා ඇත්තේ සිය පක්ෂය ජිනීවා සමුළුවට සහභාගී වී උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගත යුතු බවයි. එහෙත් දෙමළ සන්ධානයේ ජ්‍යෙෂ්ඨතම නායකයකු වන මාවෙයි සේනාධිරාජා ඇතුළු පිරිසක් මීට එරෙහිව ඇත. මේ දිනවල රජය සමඟ ව්‍යවස්ථා ගනුදෙනුවක යෙදී සිටින ඔවුන් රජය අමනාප කර නොගැනීමේ පිළිවෙතක් අනුගමනය කරන්නට උත්සාහ කිරීම නිසා අර්බුදය හටගෙන ඇතැයි කියැවේ.
මේ අර්බුදය උග්‍ර වී දෙමළ සන්ධාන අනුමැතිය ඇතත් නැතත් එම්. කේ. සිවාජිලිංගම් හා නීතීඥ ශ්‍රීකාන්තා ජිනීවා සමුළුවට සහභාගී වන බව දැඩි ලෙස ප්‍රකාශ කර තිබේ. අවසානයේ දෙමළ ජාතික සන්ධානයේ බෙදීම රට දැනගැනීම වැළැක්වීමේ අරමුණින් පක්ෂ නායක ආර්. සම්පන්දන් එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන එම්. ඒ. සුමන්තිරන්ට උපදෙස් දී ඇත්තේ සිවාජිලිංගම්ලා සමඟ ඔහුට ද ජිනීවා සමුළුවට සහභාගී වන ලෙසය.
ඒ අනුව ලබන සතිය මැද ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන යුරෝපා රටවල් ගණනාවක් (කැනඩාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුළු) ඉදිරිපත් කරන යෝජනාව ගැන සංවාදයට මන්ත්‍රී සුමන්තිරන්, හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් හා නීතීඥ ශ්‍රීකාන්තා සහභාගී වනු ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග කියයි.