සංජීවිකා සමරතුංග l
දෙමළ ජාතික සන්ධානයේ නායකත්ව අර්බුදයක් හටගෙන තිබේ. 86 වැනි වියේ පසුවන විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාගෙන් පසු පක්ෂ නායකත්වය ලබාගැනීම සඳහා තුන්කොන් සටනක් නිර්මාණය වීමෙන් මේ අර්බුදය හටගෙන ඇතැයි දෙමළ සන්ධාන ආරංචි මාර්ග කියයි.
එම්. ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා සහ ඊ. සරවනභවන් යන මන්ත්‍රීන් අතර මෙම සටන හටගෙන ඇත. ඒ සමඟ උතුරේ උපන් හින්දු ආගමිකයකු පක්ෂ නායකත්වය දැරිය යුතු යැයි එම පක්ෂය තුළ ප්‍රබල මතවාදයක් ප්‍රචාරය කෙරෙමින් පවතී.
සම්පන්දන් මහතා ළඟට සිටින ජ්‍යෙෂ්ඨයා වන සේනාධිරාජා මන්ත්‍රීවරයා ද මඳ අසනීප තත්ත්වයෙන් පසුවෙයි. එහෙත් ඔහුද නායකත්වය අපේක්ෂා කරන බව සඳහන්ය. සුමන්තිරන් මන්ත්‍රීවරයාට දෙමළ ඩයස්පෝරා සහයෝගය ලැබේ. එහෙත් දෙමළ සන්ධානයේ සෙසු සමහර පක්ෂවලින් ඔහුට විරෝධය එල්ල වී ඇත.
සරවනභවන් මන්ත්‍රීවරයා පවසන්නේ පක්ෂ නායකත්වය තමන්ට හිමිවිය යුතු බවයි. නොඑසේනම් උතුරේ මහ ඇමැති අපේක්ෂකත්වය හෝ තමන්ට ලැබිය යුතු බව ඔහුගේ අදහසයි. මෙයට සහාය ලබාගැනීමට සරවනභවන් මහතා පසුගිය සතියේ කැනඩාව - ප්‍රංශය - ස්විට්සර්ලන්තය ආදී රටවල තානාපතිවරුන් පෞද්ගලිකව මුණගැසී සහාය පැතීය.