2022 මැයි 29 වන ඉරිදා

ඊළඟ දරුවා පුතෙක් කරගන්න විශේෂ ක්‍රමයක් තිබෙනවාද?

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 530

සුව නොවන වියළි කැස්සක්

මම 30 හැවිරිදි තරුණයෙක් වෙමි. මේ දිනවල සුව නොවන වියළි කැස්සකින් පීඩා විඳිමි. සෙම්ප්‍රතිශ්‍යාවත් සාමාන්‍ය මට්ටමින් තිබේ. මා වැඩකරන කාර්යාලයේත් බොහෝ දෙනකුටම මේ දිනවල  කැස්ස ඇතිවී  තිබෙන අතර මා හට වැළඳීමෙන් පසුව නිවෙසේ මවටද මෙම තත්ත්වය ඇතිවිය. ප්‍රතිකාර ලබාගත් අතර කැස්ස පැණියක් දිනකට තුන් වරුවක් දින කිහිපයක් පානය කළත් තවමත් සුවයක් නොමැත. වෛද්‍යතුමනි, මා කුමක් කළ යුතුද?

විසල් - කොළඹ

උපදෙස්:

ඔබ එවා ඇති විස්තරයේ සඳහන් රෝග ලක්ෂණ අනුව සොටු දියර ගැලීම කිවිසුම් යාම සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් එය ආසාත්මිකතා තත්ත්වයක්. එම ආසාත්මිකතා ඇතිවන්නේ බොහෝදුරට ඇදුම රෝගය තිබෙන්නට පුළුවන්. රාත්‍රියට කැස්ස වැඩිවෙනවා නම් ඇදුම රෝග තත්ත්වයේ මුල් අවස්ථාවක් වීමට පුළුවන. එය වියළි කැස්සක් හැටියට තමා ඇතිවන්නේ. මෙවැනි අයට නිතර නිතර පෙනහළුවලට බලපාන වෛරස ආසාදන එන්නට පුළුවන්.

පැණි වර්ගවලින් බලාපොරොත්තු වන සුවයක් නොලැබීම හේතුවෙන් සමහර පැණිවර්ග භාවිතයෙන් ඉවත් කිරීමට පවා මේ වනවිට කටයුතු කරගෙන යනවා. මේ සඳහා ඔබට සුදුසුම දේ සර්වාංග රෝග වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගන්න. බොහෝදුරට ඔබට ඉන්හේලර් ඖෂධ ලබාගැනීමට සිදුවේවි. එයින් මෙය සුව කරගැනීමට පුළුවන්.මේ සම්බන්ධයෙන් ඇතැමුන්ගේ වැරුදි මත තිබෙනවා. එහෙත් මෙහි කිසිදු අතුරු ආබාධයක් නෑ.

දරුවා කවුරුන් වුවත් ආදරයෙන් බාරගන්න

මගේ වයස අවුරුදු 30යි. මට ප්‍රශ්න 2ක් තිබෙනවා. මට අවුරුද්දක දුවෙක් ඉන්නවා. පළමු ප්‍රශ්නය වන්නේ මමයි මගේ මහත්තයායි දැන් ටික දවසක ඉඳන් පුතෙක් ගැන හිතනවා. ටික දවසක ඉඳන් සරු දවස්වලට එක් වුණත් ප්‍රතිඵලයක් නෑ. මාසික ලෙඩ වීමත් හරියාකාරව වෙන්නේ නෑ. කොරෝනා එන්නත් තුනම ලබාගෙන තියෙනවා. මේ ගැන අප දෙදෙනාම බොහෝ වෙලාවට කල්පනා කරනවා. මා කුමක් කළ යුතුද? මට දැනගන්න ඕනෑ දෙවැනි ප්‍රශ්නය වන්නේ අපි දෙන්නාගේ එකම පැතුම පුතෙක්. බොහෝ අය කියනවා පුතෙක් ලැබෙන්නේ වාසනාවටලු. ඒකට එක එක වතාවත් කරන්න ඕනෑ කියලා. තවත් අය කියනවා පුතෙක් හදන්න කාන්තා ශරීරය හොඳින් ශක්තිමත්ව ප්‍රාණවත්ව තියෙන්න ඕනෑ කියලා. ලිංගිකව එක්වීමේදී විශේෂ ඉරියව්වක් තිබෙනවාද? මටත් මගේ මහත්තයාටත් මේක ලොකු ප්‍රශ්නයක්. වෛද්‍යතුමනි, පුතෙක් ලබන්න අප කුමක් කළයුතුද? කාරුණිකව පහදා දෙන්න.

ලක්මිණි - ගාල්ල

උපදෙස්:

මේ සම්බන්ධයෙන් බොහෝ මිත්‍යා විශ්වාස සමාජයේ තිබෙනවා. සංසර්ගයේදී විවිධ ඉරියව් පිළිබඳ කතා කරනවා. එහෙත් ඒ කිසිවකින් උපදින දරුවාගේ පිරිමි හෝ ගැහැනු බව තීරණය නොවේ. විද්‍යානුකූලව එය තීරණය වන්නේ පුරුෂ ශුක්‍රාණුවල තිබෙන Y කියන ජානය ඩිම්බයක් සමග සංයෝග වුවහොත් පමණි. ඒ නිසා එය කිසිසේත්ම ඖෂධයකින් හෝ ඉරියව්වකින් හෝ දේව කන්නලව්වකින් හෝ තීරණය කරන්න බෑ. එය ස්වභාවිකව සිදුවන සංසිද්ධියක්. මිලියන ගණනක් ශුක්‍රාණු ගමන් කිරීමේදී ඒවාගේ Y සහ X ජාන සමාන ප්‍රමාණ තිබෙනවා. ඩිම්බය සමග සංයෝගවීම ස්වභාවික දෙයක්. අහඹු සිදුවීමක්. ඔබ අසා ඇති කාරණයට වෛද්‍ය විද්‍යාත්මකව කිසිම ඖෂධයක් නෑ. එහෙයින් මිත්‍යා මත පසුපස නොයා ස්වභාවික සංසිද්ධියට ඉඩ දෙන්න. දරුවන් ගැහැනු වුවත් පිරිමි වුවත් එක හා සමාන වස්තුවක් ලෙස ආදරයෙන් බාරගැනීම මවුපියන් ලෙස ඔබේ වගකීමයි.

සති 16යි: ලිංගිකව එක් වුණාට කමක් නැද්ද?

මට අවුරුදු 34යි. දැන් සති 16ක ගැබිනියක්. මේ ලැබෙන්න ඉන්නේ මගෙ පළමු දරුවායි. මට දැනගන්න ඕනෑ මේ කාලේ සැමියා එක්ක ලිංගිකව එක් වෙන එක හොඳයිද නරකයිද කියලා.

නිපුලි - කඩවත 

උපදෙස්:

ගර්භනී සමයේදී අපි මාස තුනෙන් තුනට කාලය වෙන්කරන අතර අවසන් ගර්භනී කාලයේදී හැරෙන්නට ලිංගිකව එක්වුණාට ගැටලුවක් නෑ. එහෙයින් ඔබට පැවසීමට ඇත්තේ උදරයට පීඩනයක් නොවන ආකාරයට ඉරියව් වෙනස් කර ලිංගික කාර්යයේ නියැලීම කිසිදු ගැටලුවක් නොවන බවයි.

මුත්‍ර පෙණ මෙන් පිටවෙය

මම 46 හැවිරිදි දෙදරු පියෙක් වෙමි. ටික කලක පටන් නිතර නිතර මුත්‍ර කිරීමට වුවමනා වෙයි.  මුත්‍ර පිටවීමේදී පෙණ ස්වභාවයක්ද දක්නට ලැබේ. මෙය රෝගී තත්ත්වයක්දැයි පහදන මෙන් කාරුණිකව ඉල්ලමි.

මහින්ද - ගම්පහ 

උපදෙස්:

මුත්‍රවල පෙණ පිටවීම බොහෝ දුරට රෝගී තත්ත්වයක් වීමට පුළුවන. මුත්‍රවල ප්‍රෝටීන ගමන්කරන විටයි පෙණ ස්වභාවයක් ගන්නේ. එසේ වන්නේ වකුගඩු ක්‍රියාකාරීත්වය සම්බන්ධ ගැටලුවලදී. ඔබට මේ වනවිට දියවැඩියාව ඇතුළු බලපාන රෝගී තත්ත්ව ඇතිදැයි මෙහි සඳහන් කර නැත. දියවැඩියාව අධිරුධිර පීඩනය වැනි රෝග තිබෙන අයට කාලයක් ගියවිට ඒවාහි බලපෑමෙන් ප්‍රෝටීන ගමන්කර මුත්‍රවල පෙණ යාමට පුළුවන්. එහෙයින් මේ සඳහා සුදුසුම දේ මුත්‍රවල පෙණ යාම පිළිබඳ පරික්ෂණයක් සිදු කරගන්න. එසේම වකුගඩු ක්‍රියාකාරීත්වයත් පරීක්ෂා කරවාගන්න. මේ සඳහා සර්වාංග රෝග වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගන්න.

ඇඟේ උෂ්ණයට බාර්ලි හොඳද?

මම 33 හැවිරිදි එක්දරු මවක් වෙමි. මාගේ ශරීරය නිතරම උෂ්ණ ස්වභාවයක් ගනියි. මාගේ මිතුරියක මා හට පැවසූයේ ශරීරයේ උෂ්ණ බව නැතිවීමට බාර්ලි පානය කරන්න කියලා. වෛද්‍යතුමනි, මා හට දැනගැනීමට අවශ්‍ය වන්නේ ශරීරයේ උෂ්ණ බව නැතිකරගන්න බාර්ලි සුදුසුද? නැතිනම් වෙනත් ඖෂධ හෝ ආහාරමය පාන තිබෙනවාද?

මල්ෂාණි - කඩුවෙල 

උපදෙස්:

එකිනෙකාගේ ශරීරයේ ඇතිවන පරිවෘත්තීය ක්‍රියාවලියේ වෙනස්කම් අනුව ශරීරය උෂ්ණයි සීතලයි කියා කියනවා. එහෙම අයට ආහාර වර්ගවලින් ආසාත්මිකතා ඇතිවන්න පුළුවන්. ශරීරයේ පවතින උෂ්ණත්වය තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය ශරීරයේ මහත , සිරුරේ ඇති මේද ප්‍රමාණය ආදී කරුණු අනුව තීරණය වෙයි. සීතල අඩුවෙන්න ආහාර ගත්තා කියා හැමතිස්සේම බාර්ලි කකා ඉන්න බෑනෙ. ආහාරවලින් පෝෂණ ගුණය ලැබෙනවා විනා විශේෂයෙන් ශරීර උෂ්ණත්වය අඩු කිරීමක් සිදුවන්නේ නෑ. අපි උණුසුම් ආහාර කියන්නේ ශරීරයට ආසාත්මිකතා ඇතිකරන ආහාරයි. අපි කියනවා  බලමාළු, දෙල් කෑවාම උෂ්ණයි කියලා. එයින් අදහස් කරන්නේ ආසාත්මිකතාවක් දක්වා ගමන් කරන්නට හැකියාවක් තිබෙන නිසායි. මේවායින් ශරීරයේ උෂ්ණත්වයට බලපෑමක් වෙන්නේ නෑ. ඔබට හැකියාවක් තිබේ නම් සර්වාංග රෝග පිළිබඳ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගන්න.

කාලයක ඉඳන් සුව නොවූ සිතට වදදෙන කියාගන්න බැරි සෞඛ්‍ය ප්‍රශ්නයක්ද? ඔබේ ප්‍රශ්නයට විශේෂඥ වෛද්‍ය උපදෙස් නොමිලයේ ලබාදීමට අප සූදානම්. ඔබේ ඕනෑම සෞඛ්‍ය ප්‍රශ්නයක් අපට එවන්න. පිළිතුරු පළවිය යුතු නමද සඳහන් කරන්න.

ඔබේ ප්‍රශ්න යොමු කරන්න

 

සංස්කාරක
විශේෂඥ වෛද්‍ය හමුව 
දොස්තරට කියන්න
දේශය පුවත්පත,
නො: 08,
හුණුපිටිය හරස් පාර,
කොළඹ 02

 සසංක චලන ගිම්හාන