2022 මැයි 01 වන ඉරිදා

බෙහෙත් නවත්තපු ගමන් රැලි වැටුණා....

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 276

තද මුත්‍ර දැවිල්ලක්

මම 34 හැවිරිදි විවාහක කාන්තාවක් වෙමි. කිරි සිහිනය තවම සඵල වී නැත. කලක පටන් ලිංගිකව එකතු වුණාම තද මුත්‍ර දැවිල්ලක් ඇති වෙනවා. වැඩිපුර දහදිය දමනවා. අධික තෙහෙට්ටුවක් දැනෙනවා. ඇඟත් ගොඩාක් උෂ්ණයි. උෂ්ණ කෑම කෑවත් මුත්‍ර දැවිල්ල එනවා. වෛද්‍යතුමනි උපදෙසක් දෙන්න.

නදී - මැදිරිගිරිය

උපදෙස:

මුත්‍ර දැවිල්ලක් කියන්නේ මුත්‍රවල ආසාදනයක් වීමට පුළුවන. ගැහැනු අයගේ මුත්‍ර මාර්ගය කෙටි නිසා මෙවැනි ආසාදනයක් වීමට ඇති ඉඩකඩ වැඩිය. දැනට මුත්‍ර ආසාදනයක් ඇති වී ඇත්නම් නැවත නැවත ආසාදනයට ගොදුරු වීමේ අවස්ථාවත් තිබෙනවා. මුත්‍රවලට ඇතුළු වන්නේ ලිංගික ප්‍රදේශය ආශ්‍රිත සමේ තිබෙන විෂබීජයි. ලිංගික කාර්යයට පෙර සහ පසුවත් වැසිකිළි යාමෙන් පසුවත් සබන් යොදා ලිංගික ප්‍රදේශය හොඳින් පිරිසුදු කරගන්න. 

මුත්‍ර නිතර පිටවෙනවා නම් ආසාදන ඇතිවීමට තිබෙන ඉඩ වැඩියි. එහෙයින් කළ යුතු සුදුසුම දේ වන්නේ කායික රෝග වෛද්‍යවරයකු හමුවී මුත්‍ර පරීක්ෂණයක් සිදුකර ගැනීමයි. එයින් ඔබට ආසාදනයක ලක්ෂණ ඇත්නම් ඒ සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාදෙයි. අනෙක් කාරණය ඔබ ප්‍රශ්නයේ සඳහන් කර ඇති ශරීරයේ උෂ්ණ බව තෙහෙට්ටුව වැනි ලක්ෂණ තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වයක් වීමට පුළුවන්. එසේ නැතිනම් වෙනත් හේතුවක් දැයි පරීක්ෂණ කර නිගමනයකට පැමිණීම සුදුසුයි. 

බැලුම් වගේ ඇඟ හදාගෙන නිකරුණේ ලෙඩ වෙන්න එපා

මම අවුරුදු 32ක කාන්තාවක් වෙමි. සිහින් සිරුරක් හිමිය. මම ශරීරය මහත් කරගැනීමට කාලයක පටන් උත්සාහ ගනිමි. විවධ ප්‍රතිකාර ගත්තෙමි. මිතුරකුගේ දැනුවත් කිරීමට මේ සඳහාම ප්‍රතිකාර කරනවා යැයි කියූ කොළඹට නුදුරු ප්‍රදේශයක සිටින වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත්තෙමි. එහිදී Prednisolone කියන ඖෂධය ලබාදෙන ලදී. එහෙත් ප්‍රතිකාර ගත් කාලයේදී මහත් වුවද දැන් දැන් සම රුළි වැටීගෙන එයි. ඒ ලබාගත් ප්‍රතිකාර මම බයටම නැවැත්වූයෙමි. මට දැනගැනීමට අවශ්‍ය වන්නේ මෙම ඖෂධය ගැනීම සුදුසුද? මට වෙනත් විකල්ප ඖෂධයක් තිබේද? 

සචිනි - මහවාද්දුව

උපදෙස:

මෙවැනි ශරීරය වෙනස් කරගැනීමට බොහෝදෙනා Prednisolone කියන ඖෂධයත් Dexamethosone කියන ඖෂධයත් භාවිත කරනවා. මෙය භාවිතයෙන් මුල් කාලයේදී බැලුමක් සේ සිරුර වෙනස් වෙයි. එහෙත් මෙහි අතුරු ආබාධ බොහොමයක් තිබේ. මෙම ඖෂධය දිගුකාලීනව ගැනීමෙන් දියවැඩියා තත්ත්වය ඇතිවන්න පුළුවන්. ශරීරයේ අස්ථි දුර්වලතා ඇතිවී ඔස්ටියෝපොරෝසිස් ඇතිවන්න පුළුවන්. ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙයි. කොණ්ඩෙ යාම සම රුළි වැටීම් ඇතිවෙලා විකෘති වීම් වීමට පුළුවන්. එහෙයින් මෙම ඖෂධය ලබාගැනීමෙන් වළකින්න. ඔබට ශරීරය සකසා ගැනීමට ප්‍රතිකාර අවශ්‍ය නම් සුදුසුකම් ලත් කායික රෝග වෛද්‍යවරයකු හමුවී නියමිත ප්‍රතිකාර පමණක් ලබාගන්න. ඉහත කී ඖෂධ හිතුමතේ ලබාගැනීමෙන් වළකින්න. ප්‍රතිකාර ලබාගැනීමේදීත් සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ගෙන් පමණක් ප්‍රතිකාර ලබාගැනීමත් ඔබේ යහපතට හේතුවෙයි.

නිතරම ඇඟ කහනවා

මට කිසි වැඩක් කරන්න බෑ කටු අනිනවා වගේ දැනෙනවා. ඇඟ කසන්න ගන්නවා. රූට නින්ද යන්නේ නෑ. කිවිසුමක් ගියත් කටු අනිනවා වගේ දැනෙනවා. ගොඩාක් සැරට මිරිස් අධික කෑම කෑවොත් ඇඟ කහන්න ගන්නවා. වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත්තත් ඒක ආයෙත් තියෙනවා. මට දැනගන්න ඕනෑ මේක ලෙඩක්ද? කියලා. සම්පූර්ණ සුවය ලැබීමට ප්‍රතිකාර කළ හැකිද?

උදේශ් - ගම්පහ

උපදෙස:

ඔබ විස්තර කරන  රෝග ලක්ෂණ බොහෝ දුරට ශරීරයේ පවතින ආසාත්මිකතාවක් විය හැකියි. මෙවැනි ආසාත්මිකතා වැළැක්වීමට දීර්ඝකාලීනව ඖෂධ ලබාදෙනවා. එයින් මෙම ආසාත්මිකතාව මගහරවාගන්න පුළුවන්. ඒ වගේම ආසාත්මිකතාව කවරාකාර හේතු නිසා හටගන්නේදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ඇතැමුන්ට ආහාර වර්ගවලටත් තවත් සමහරුන්ට අහේතුකවත් එනවා. කාලයක් තිස්සේ කිසිදු ප්‍රශ්නයක් නැතිව ගන්නා ආහාර වර්ග පසුකාලීනව ආසාත්මිකතා ඇතිකිරීමට ඉවහල් වෙන්න පුළුවන්. නිදසුනක් ලෙස තක්කාලි දීර්ඝකාලීනව ආහාරයට ගැනීමේදී හිටිගමන් යම් යම් ආසාත්මිකතා ඇතිවන්න පුළුවන්. මෙම ආසාත්මිකතා ඖෂධ මගින් පාලනය කිරීමට හැකිය. මෙම ආසාත්මිකතාව වෙනත් හේතුවකට එනවාදැයි සොයා බැලිය යුතුයි.

පුතාගේ පුරුද්ද නවතන්න පුළුවන්ද?

මම දෙදරු මවක වෙමි.  පුතාගේ වයස අවුරුදු 18කි. මගේ පුතා නිදි ඇඳේදී ජංගම දුරකතනය භාවිත කරයි. එයට ඇබ්බැහි වී සිටී. මාත් සැමියාත් කෙතරම් අවවාද දුන්නත් මේ පුරුද්ද නැවැත්වීමට තවම නොහැකි වීමෙන් අපි වඩාත් අපහසුතාවට ලක් වී සිටිමු. අනෙක් අතින් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විශාල අවදානමක පසුවෙමු. වෛද්‍යතුමනි, කාරුණිකව ජංගම දුරකතනය භාවිතයේ ආදීනව පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.   

මල්ලිකා - බුලත්සිංහල

උපදෙස:

ඇත්තටම බොහෝ දෙනාට තිබෙන බරපතළ ප්‍රශ්නයක්. මෙවැනි පුරුදු එකපාරටම වෙනස් කිරීමට වඩා එය ක්‍රමානුකූලව වෙනස් කළ යුතුයි. එවැනි එකපාරට වෙනස් කිරීමට යාමෙන් මෙම ප්‍රශ්නය දරුණු වීමට පවා පුළුවන. මෙය ඉතා පරෙස්සමෙන් මගහැරවිය යුතුයි. දරුවාට ආදරයෙන් සලකා දරුවා කැමැති වෙනත් දේවල්වලට යොමු කරවීමෙන්  මෙම පුරුද්ද මගහරවාගත හැකිවෙයි. ඔබ යොමුකර ඇති ප්‍රශ්නය අනුව මානසික උපදේශනය අවශ්‍ය තත්ත්වයට පත් වී තිබෙන බව පැහැදිලි වෙනවා. එහෙයින්  මේ තත්ත්වය මගහරවා ගැනීමට මනෝ උපදේශන සහාය ලබාගැනීම සුදුසුයි.  

ඉක්මනින් ඇඟ හැඩ කරගන්න ක්‍රමයක් තිබ්බොත් අපටත් කියන්න

මා අවුරුදු 26 ක තරුණියකි. මාගේ උස 5^2^^ වන අතර සිහින් සිරුරක් හිමිය. එන ජූනි මාසයේදී විවාහ අපේක්ෂාවෙන් පසුවෙමි.  මා හට ඉක්මනට ඇඟ හැඩ කරගන්න තදබල වුවමනාවක් ඇත. සරසවි අධ්‍යාපනය ලබන කාලයේ මිතුරියන් විවිධ ආලේපන ගෙනැවිත් දුන්නත් ඒවාගෙන් මෙයට ප්‍රතිඵලයක් ලැබුණේ නැත. ඇතැම් සම්බාහන තෙල් වර්ග ආලේප භාවිත කළත් අවශ්‍ය විසඳුම ලැබී නැත. වෛද්‍යතුමනි, මට දැනගන්න ඕනෑ ඉණ හැඩකරගන්න ආලේපනයක් තියෙනවාද කියලා. මා කුමක් කළ යුතුද?

විමල්ෂා - අවිස්සාවේල්ල

උපදෙස:

ශරීරයේ වර්ධනය හැඩය බර අඩුවීම සහ වැඩිවීම කෙටිකලකින් වෙනස් කිරීමට නොහැකිය. ශරීරය බර අඩු නම් ආහාර, ඖෂධ ලබාගෙන ව්‍යායාමවලින් ශරීරය සකස් කරගැනීමට කාලයක් ගතවෙයි. ඔබ විමසන පරිදි ඉක්මනින් ඇඟ හැඩකරගන්න ක්‍රමයක් තිබ්බොත් අපටත් කියන්න. ආලේපන සහ තෙල්වර්ගවලින් සමේ පැහැය හැඩය වෙනස් කරනවා නම් එය තාවකාලික ක්‍රමයකි. එය එතරම් සාර්ථක ක්‍රමයක් නොවෙයි. වෙළෙඳපොළේත් සමාජ මාධ්‍යවල පවා දැන්වීම් පළකරමින් එවැනි බොහෝ ආලේපන දැකිය හැකියි. අපි භාවිත කරන ඕනෑම ඖෂධයක් ආලේපනයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි ඖෂධයක්ද එසේත් නැතිනම් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ඖෂධයක්ද යන්න සොයා බැලිය යුතුයි. එසේ ලියාපදිංචි නොවන ඖෂධ නොගත යුතුයි. හිතුමතේ මෙවැනි ආලේපන ගැනීමෙන් වළකින්න. ශරීරය නිසි ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය නම් විවාහපත් වීමට වසර කිහිපයක සිට එයට සැලැස්මක් අනුව ව්‍යායාම සහ ආහාර පාලනය ඇතුළු අවශ්‍ය ප්‍රතිකාර කළ යුතුයි.

ඔබේ ප්‍රශ්න යොමු කරන්න

කාලයක ඉඳන් සුව නොවූ සිතට වදදෙන කියාගන්න බැරි සෞඛ්‍ය ප්‍රශ්නයක්ද? ඔබේ ප්‍රශ්නයට විශේෂඥ වෛද්‍ය උපදෙස් නොමිලයේ ලබාදීමට අප සූදානම්. ඔබේ ඕනෑම සෞඛ්‍ය ප්‍රශ්නයක් අපට එවන්න. පිළිතුරු පළවිය යුතු නමද සඳහන් කරන්න.
සංස්කාරක

විශේෂඥ වෛද්‍ය හමුව 
දොස්තරට කියන්න
දේශය පුවත්පත,
නො: 08,
හුණුපිටිය හරස් පාර,
කොළඹ 02

 

■   සසංක චලන ගිම්හාන