2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

ජීවිතය ජයගමු

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 1051

ඔබ ජීවිතයේ මෙතෙක් ලැබූ අත්දැකීම් දෙස හැරී බලන්න ජීවිතය අසාර්ථක වූ පරාජය වූ අවස්ථා අනන්තවත් තියෙන්නට ඇත. බොහෝ දෙනා පරාජය සලකන්නේ තමන්ගේ හතුරෙක් වාගේම ශාපයක් ලෙසයි. පරාජය ශාපයක් වන්නෙ ශාපයක් ලෙස එය සිතන අයෙකුට පමණයි. පරාජයද වෙස්වලා ගත් ආශිර්වාදයක් ලෙස සිතිය යුතුය. නවීන තාක්ෂණික ලෝකයේ හැල්මේ දුවන තරුණ තරුණියන් යම් පරාජිත මොහොතකට මුහුණ දුන්විට ඇතමෙක් තම ජීවන ගමන ආපස්සට හරවාගනියි.

ජයග්‍රහණයෙන් ඉගෙන ගතනොහැකි බොහෝ දේ පරාජයකින් අපට ඉගෙන ගතහැක. පිළිබඳ පසුතැවීමකින් සිටින අතරතුර පරාජයේ අත්දැකීමක් ලෙස සිතා නැවත සාර්ථකත්වය කරා ගමන් කිරීමට මඟසොයා ගතහැක. තරුණ ඔබ අතීතයේ දී පරාජය වී ඇත්නම් ඒ උගත් පරාජිත පාඩම්වලින් අනාගතයේ එම පුද්ගලයා විශිෂ්ඨයෙකු බවට පත්වීමේ අත්තිවාරම සකසයි.

ඔබ මනසින් ශක්තිමත් නම් ඔබට තමා කෙරෙහි ආත්ම විශ්වාසය ඇත්නම් ඔබේ උත්සහය ධෛර්යය හා කැපවීම ඔබට ජයග්‍රහණයේ දිනුම් කණුව වෙත ගෙනයාම කිසිවෙකුටවත් නැවැත්විය නොහැකිය. සිත ඇත්නම් පත කුඩාද ලෙස ගැමිවහරේ කියන්නේ. සිතේ ශක්තිය පිළිබඳවයි. සිතෙන් කිසිවිටෙකවත් අධෛර්යමත් වෙන්නෙකු වන්න එපා. තමා පරාජිතයෙකු බවට විශ්වාස කරන තාක්කල් තමා සදාකාලික පරාජිතයෝ වෙති.

අපිට අපේ සිතේ පරිකල්පන ශක්තිය දියුණු කරගැනීමෙන් ජීවිතය ජයගත හැක. මිනිස් සිතට චිත්ත ශක්තියට විශේෂ බලයක් ඇත. අප කරන ක්‍රියා බොහෝ දේවලට සිත හා අපේ සිතුවිලි මූලික වේ. එම නිසා මිනිස් සිතෙන් ගතහැකි වැඩ අපමණයි.

මොන ගැටලුකාරී තත්ත්වලට මුහුණපෑවත් සිත ශක්තිමත් කළ යුතුය. එසේ නොවන අවස්ථා නිසා විවිධ ගැටලුකාරී තත්ත්වලට අද මුහුණපෑමට ලක්වී ඇත. සියදිවි නසාගැනීමෙන් අංක 1 බවට ද ශ්‍රී ලංකාව පත්ව ඇත්තේද මේ කරුණ නිසාය. මනස ව්‍යාකූල වූ විට තරුණයන් විවිධ ගැටුම්කාරී තත්ත්වයන්ට මුහුණදීමට අද සිදුවී ඇත. ගැටලුවක් පැනනැගුණු විට ඉවසීමේ ගුණයෙන් අඩුවී ප්‍රචණ්ඩ වීම නිසා පසුගිය දිනවල මාතර ප්‍රදේශයේ පිහි ඇණුමකින් යෞවනයෙකුගේ දිවි අකාලයේ අහිමි විය.

පරාජය අභියෝගයක් ලෙස බාරගන්න පරාජය ඔබ ජයග්‍රහණයක් කරා ගෙනයන උත්තේජයක් ලෙස සිතන්න. සිත් තැවුල් කනස්සල්ල මුළුමනින්ම ඉවත්කරගන්න. ශුභවාදී සිතුවිලි නිතර ඇතිකරගන්න. ඔබට ද පරිකල්පන ශක්තිය දියුණු කිරීම තුළින් ජයග්‍රහකයෙකු වීම අත්දැකිය හැකිය. සැමවිටම අලුත් විදියට ධනාත්මක ආකල්ප ගොඩනගා ගන්න.

සාර්ථකත්වය හා ජයග්‍රහණය කරා වූ ජීවිතයේ ජයමඟ නිසැකවම ඉටුකර ගතහැකිය.

►සාගර ගෝවින්ද 
මාතර