2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 118

පහුගිය දවස් ටිකේම පත්තරවල ප්‍රධාන සිරස්තලය තිබ්බේ අපේ රටේ දේශපාලනඥයන්ගේ වැඩ කිඩ. පාර්ලිමේන්තුවේ 225ම මරාගන්නවා. එක්කෙනෙක් පිහියක් ගෙනල්ලා අනින්න එලවනවා. තව එක්කෙනෙක් මිරිස් කුඩු අරන් ඇවිත්. අන්තිමට පිහිය පෑන වෙලා. මිරිස් කුඩු වතුර කොකා කෝලා, ලෙමනේඩ් වෙලා. හරියට කබරයා තලගොයා වුණා වගේ. කොහොමත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරැවන්ගේ නිසා ගින්නක් ඇත්තෙම නෑ.

ඒ විතරද එක මන්ත්‍රී කෙනෙක්ගේ සරම කරේ. තව එක්කෙනෙක් පාර්ලිමේන්තුව ඇතුළේ තුනෙන් දෙකේ බහුතරය පෙන්නන්න කිව්වම "මේං" කියලා සරම උස්සලා පෙන්නුවා. ඒක දැකපු තානාපතිවරු "හොහ්...හොහ්..." (ඉංග්‍රීසියෙන් හිනාවෙන්නේ එහෙම) ගාලා අප්පුඩි ගගහා හිනා වුණා. අපි මේවා දැකලා "හොඳ වැඩේ ඕකට දෙන්න ඕනේ කන පැලෙන්න" කියලා චියර් එක දැම්මා. මාර සතුටක්, සැපක්. හරිම අනගිභවනීයයි.

දැන් මේක හරි කැතයිනේ. ඒත් ඒ කැත වහගන්න එයාලම කියනවා "අපෝ මේ මොන වලිද පිටරට පාර්ලිමේන්තුවල වෙන ඒවා එක්ක බලද්දී" කියලා. ඊට පස්සේ එයාලට හිතවත් මාධ්‍ය ඇතුළේ එහෙම ගහගන්න තුන හතරකුත් පෙන්නනවා. අපි ආයි හිත හදාගන්නවා "අනේ මෙයාලා ගහගෙන නෑනේ" කියලා.

මේ වගේ විශේෂ පාර්ලිමේන්තු සැසියකට කෝටි දෙකක් විතර යට කරනවා. කෝටි හතරක් දවස් දෙකට කාලා. අමතරව පාර්ලිමේන්තුවේ බඩු විනාස කරලා තව කෝටි ගාණකුත් කාලා කට්ටිය විසිරිලා ගියා.

ඒ එයාලා. බස්නාහිර පළාත් සභාවේ කට්ටිය එදා එයාලගේ මහ ඇමැතිතුමා අයවැය කියවනවා. මහ ඇමැතිතුමා මහන්සියෙන් හැදුව අලුත්ම අලුත් සභාවේ ඉඳගෙන. ලක්ෂ හැට හතරක පුටු ගේන්න බැරි වුණාට. එයා කෝටි  ගාණක දොරකුයි, වහලෙකුයි, සුවඳ ගේන්න පොඩි අයිටම් එකකුයි සෙට් කළා. ඒ විතරක් නෙමෙයි මන්ත්‍රීවරුන්ගේ මේසේ ඉස්සරහා ටැබ් එකකත් හේත්තු කළා. අනේ ඒ සභාවට ඇතුළු වෙච්ච පළවෙනි දවසෙම මන්ත්‍රීවරැ ටැබ් එකෙන් බ්ලූ බලලා. අච්චර අරහේ අය වැය කියද්දී එයලා බ්ලූ බලලා.

මේ අපේ රටේ පාලකයෝ. මෙයාලා යැව්වේ අපි. එයාලා ඉන්නේ අපේ සල්ලිවලින්. ගියේ අපිට වැඩ කරන්න. හැබැයි එයාලා ඔය කියන තුනම අමතක කරලා සොමිය ගන්නවා හොඳට.

ගමේ කානු උඩ, බෝක්කු උඩ වාඩි වෙලා. අකුරක් ඉගෙන ගත්ත නැති, කසිප්පු, කුඩු වික්ක, හොරකම් කරපු උන් ගමම දන්නවා. ඌ හරි හොඳයි. කොච්චර බලු වැඩ කළත් "අයියේ... අක්කේ... ආ මල්ලී" කියනවා. මහත්තයා, සර් කට පුරා කියනවා. එහෙව් ඌ ගමම දන්න නිසා ඌට නොමිනේෂන් දෙනවා. ඌ උඩින් දිනනවා. මළ පොතේ අකුරක් බැරි එවුන් පාලනය කරන්න ආපුවම උන් එළියේ ඉන්නකල් කරපු දේවල් කරනවා ඇරෙන්න දේශපාලනය කරයිද? නෑ. ඌ උගේ ගතිය පෙන්නනවාමයි. ඒ නිසා මේවා දැකලා කම්පා වෙලා වැඩක් නෑ. මේ ඉන්නේ අපිම තමා.. ආයේ කතා දෙකක් නෑ.

මම 
බ්‍රෝ