2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

සරච්චන්ද්‍ර සහ කබුකි

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 276

මා මේ ලිපිය ලියන්නේ ජපානයේ රමණීය නගරයක් වූ කියෝතෝ සිටයි. අප ලාංකිකයන් කීපදෙනෙක් මෙහි පැමිණ සිටින්නේ වර්ෂයකට සැරයක් පමණක් පැවැත්වෙන විද්‍යා හා තාක්ෂණය ප්‍රවර්ධනය පිළිබඳ සම්මේලනයට සහභාගීවීම පිණිසයි.  ජපානයේ මුදල් ඇමැති මෙන්ම විද්‍යා, තාක්ෂණය පිළිබඳව ඇමැතිව සිටි කෝජි ඔමි මහතා දැනට අවුරැදු පහළොවකට පෙර මෙම වාර්ෂික සම්මේලනය ආරම්භ කළේය. විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභීන් විශාල පිරිසක් මෙම සම්මේලනයට සම්බන්ධ වෙති. ඔවුන්ගේ වටිනා දේශනවලට සම්බන්ධවීමටත් සාකච්ඡාවලට එක්වීමටත් අපට අවස්ථාව සැලසෙයි. මෙවර සම්මන්ත්‍රණයේ මාතෘකාව වූයේ “තිරසාර සංවර්ධන ඉලක්ක හා විද්‍යා තාක්ෂණයයි.”

දිනක් තුනක් තිස්සේ දිවෙන මේ සම්මන්ත්‍රණයේ අංගයක් හැටියට සවස ජපන් සංස්කෘතීන් විදහා දක්වන නැටුම් ගැයුම් මෙන්ම රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබුණි. පළමුවැනි දවසේ ඉතාම දර්ශනීය කබුකි සංදර්ශනයකුත් දෙවැනි දවසේදී කියෝතෝවේ සුප්‍රසිද්ධ මහායාන පන්සලක් වූ තොෆුකෝජි පන්සලට සංචාරයක් හා එහිදී ඉස්තරම්ම සකේ නමැති මධුවිත ඇතුළත් භෝජන සංග්‍රහයක්ද සැලසුම්කර තිබුණි. මෙම පන්සල ඉදිකරන ලද්දේ 1236 දීය. කමකුරා යුගයට අයිති නරපතියන් විසින් ඉදිකරනලද මේ පන්සල නාරාහි පිහිටි පන්සල් අභිබවා යෑමේ අරමුණින් ගොඩනගන ලද්දකි. තොෆුකෝජි කියන නම සාදා ඇත්තේ නාරාවල ප්‍රධාන පන්සල්වල මුල්අකුරු එක්කර ගනිමිනි. අනගාරික ධර්මපාලතුමාගේ දිනපොත අනුව ඔහු කියෝතෝ නගරයට පැමිණ පන්සල්වල දේශන පවත්වා ඇත. ඔහු මුලින්ම ආවේ ඕල්කට්තුමාගේ තරුණ ආධාරකරුවෙක් හැටියටයි. එම ගමනේදී ධර්මපාලතුමා අසනීපයෙන් සිටි නිසා නගරය හොඳින් බලාගැනීමට නොහැකි විය. එහෙත් කියෝතෝවල පන්සල්වල බෞද්ධ පරමවිඥානාර්ථ සමිතිය විසින් නිපදවන ලද නව බෞද්ධ කොඩිය ලෙලදුන් බව ඔහු සතුටින් රචනා කරයි.

අද මගේ ලිපියෙන් අවධානය යොමුකරන්නේ අප මුල්දින දුටු කබුකි සංදර්ශනය වෙතයි. කබුකි සම්ප්‍රදායේ ඉහළම නිර්මාණ දෙකක් වන “ගල් පාලම” සහ “විස්ටිරියා මල් සහිත කාන්තාව” අප ඉදිරියේ රඟදක්වන ලදී. ඒ කාණ්ඩ දෙක ඉදිරිපත් කරන ලද්දේ නැගී එන කබුකි නළුවන් දෙපොළක් වන තකානොසුකේ නකමුරා සහ කසුටාරෝ නකමුරා විසිනි.  දෙදෙනාටම නකමුරා යැයි නම් කර ඇතත් ඔවුන් සහෝදරයන් නොවේ. කබුකි නැට්ටුවෝ තම ගුරැවරයාගේ නම යොදා ගනිති. ඉස්සර සියම් නිකායේ හිමිනමක් උපසම්පදාව ලබන විට සිය පැවිදි නාමය වෙනස් කිරීම සිරිතකි. අප දුටු කබුකි නැටුම් දෙකම මහායාන බුද්ධාගමට සම්බන්ධය. එය විස්තර කිරීමට පෙර මවිසින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කරළියට කැඳවිය යුතුය.

අපේ කාලයේ පේරාදෙණිය සරසවියේ සිංහල අංශයේ ගුරුවරයෙක් වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නූතන සිංහල නාට්‍යයේ නිර්මාණකරැ හැටියට සැලකේ. තාත්වික නාට්‍ය නිෂ්පාදනයෙන් එම කලාවට එක් වූ සරච්චන්ද්‍ර ජපානයේ සංචාරය කිරීමෙන් පසුව නාට්‍යධර්මී ශෛලිය පිළිගෙන ඒ අනුව සදා පවතින නාට්‍ය කීපයක්ම ලියා නිෂ්පාදනය කළේය. “මනමේ” නාට්‍යයෙන් ඇරඹූ මේ අත්හදාබැලීම් “කදා වළලු”, “රත්තරං”, “සිංහබාහු” යන නාට්‍ය තුළින් අපට දැකගත හැකි විය. ඉන්පසුව ඔහු නිපදවූ නාට්‍යවලද, තරමක් වෙනස් වූ නාට්‍යධර්මී ශෛලියක් අපට දැකිය හැකිය. “මනමේ” හා “සිංහබාහු” නාට්‍යවල කබුකි ආභාසය පැහැදිලිවම දැකිය හැකිය. වේදිකාවේ එක් පසෙක වාදන වෘන්දයත්, අනෙක් පසෙක අත්වැල් කියන ගායක පිරිසත් ජපන් නාට්‍යවලත් සරච්චන්ද්‍රගේ නාට්‍යවලත් පොදු ලක්ෂණයකි. එමෙන්ම ඒ නාට්‍ය වර්ග දෙකේම චරිත රංගභූමියට එන්නේ තමන් ගැන ගීතමය හැඳින්වීමක් කරමිනි.  එම ගායන තුළ බොදු දහමේ ඇති පුරුෂාර්ථ ගැන නිතරම සඳහන් වෙයි. “මනමේ” නාට්‍යය ගැන පූර්ණ විස්තරයක් කර ඇති මගේ “මනමේ මතක් වී” නැමැති පොතේ එකී පුරුෂාර්ථ ගැන විග්‍රහයක් මවිසින් කර ඇත.  ඒ සියල්ලටම වඩා නාට්‍ය වර්ග දෙකේම අප ඉදිරියේ කතාව ගලායන්නේ සංකේතාත්මක නිරෑපණයක් හැටියටය.

“ශක්සෝ” හෙවත් “ගල් පාලම” නමැති කබුකි නැටුම නිරෑපණය කරන්නේ මහායාන බුද්ධාගමේ එන සංකල්පයකි. මංජු ශ්‍රී යනු බෝධිසත්වයෙකි. ජපන් ආගම මංජු ශ්‍රී   බෝධිසත්වයන් හඳුන්වන්නේ “මොංජු” යන නමිනි. මොහු මේ ලොව රැඳෙන්නේ “සෙරියෝශාස්” නමැති කන්දේය. මහායාන විශ්වාසය අනුව එම කන්දෙන් එහා පිහිටා ඇත්තේ බෞද්ධ පාරාදීසයකි. එය මායා නගරයකි. එම කන්දත් මායා නගරයත් අතර වැටී ඇත්තේ ගල් පාලමකි.  එම පාලම අරක් ගත් “ශිශී” නමැති භූතයෙක් සිටියි. ඔවුහු නන් වෙසින් අප ඉදිරියට පැමිණෙති. අවසානයට එන්නේ සිංහයෙකුගේ විලසිනි. මේ සිංහයා දුටුවිට මට එකවිටම මතක් වූයේ සරච්චන්ද්‍රගේ නාට්‍යයේ එන සිංහරාජයා ය. ජපන් චරිතය හැඩවැඩ දැමීමෙන්, ඇඳුමෙන් හා නැටුමෙන් සිහිගන්වන්නේ සිංහබාහු නාට්‍යයේ එන චරිතයි. සරච්චන්ද්‍ර හා ඔහුගේ නාට්‍යයේ ඇඳුම් නිර්මාණය කළ සිරි ගුණසිංහ කොතරම් දක්ෂ නිර්මාණකරැවන් දැයි මම විස්මිතව කල්පනා කළෙමි.

දෙවැනි නැටුම වූ “විස්ටිරියා මල් සහිත කාන්තාව” වෙනත්ම ආරක කබුකි නැටුමකි.  මෙහි සිංහ නැටුමේ ඇති ත්‍රාසජනක ගතිය නැත. මෙය හුදෙක්ම ළයාන්විත නිරූපණයකි.  මේ ගැහැණිය එම විස්ටිරියා ගඟේ නිරූපණයකි. ඇය තම ප්‍රේමවන්තයාද ගසකට සමකරමින් ශෘංගාරාත්මක නැටුමක යෙදෙන අතර ටිකින් ටික මත් වූ යුවතියකගේ ස්වරෑපයට පෙරළෙයි.

මේ නැටුම අප වඩාත් කුල්මත් කරන්නේ මේ කාන්තා චරිත නිරූපණය කරන්නේ තරුණ නළුවෙක් විසින් බැවිනි. කබුකි නාට්‍යය රඟ දැක්වීම කාන්තාවන්ට තහනම්ය. එම කාන්තා චරිත රඟ දැක්වීම් සියල්ලම නළුවන්ට බාර කර ඇත. ඔවුන් හඳුන්වන්නේ “ඔන්තගතා” යනුවෙනි. සරච්චන්ද්‍රගේ නාට්‍යය ගැන සිතමින් කබුකි බැලූ මට අපේ මහාචාර්යවරයා හා ඔහුට සහාය වූ සිරි ගුණසිංහ වැනි අය කොතරම් දක්ෂ හා නිර්මාණශීලිදැයි සුහද සිතක් ඇති විය.

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00