2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

අලුත්ගම ධම්මානන්ද හිමිපාණෝ

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 211

මල්වතු විහාරවාසී අලුත්ගම ධම්මානන්ද නා හිමියෝ අවුරුදු 103ක් ආයු වළඳා පසුගියදා අපවත් වූහ. මෙරට නූතන සංඝ ශාසනයේ වැඩිම කාලයක් ජීවත් වූ උන්වහන්සේ සෑම අතින්ම දැවැන්ත චරිතයක් වූහ. උන්වහන්සේ උසින් අඩි හයකටත් වැඩිය. ඉතාම ප්‍රසන්න පෙනුමකින් යුත් උන්වහන්සේ මිත්‍රශීලී කෙනෙක් වුවද වරදක් දුටු තැන නොබියව කතා කළහ. මල්වතු විහාරයේ තුම්පනේ පන්සලේ දිගු කාලයක් පදිංචිව සිටි උන්වහන්සේ එම කුටියේ දොරකඩ සිටගත් විට හිස වහලයේ ගෑවෙන තරමට උස තේජාන්විත චරිතයක් වූහ. මල්වතු පාර්ශවයේ කාරක රුස්වීම්වලදී උන්වහන්සේ පහසුවෙන්ම කැපී පෙනිණි. ජ්‍යෙෂ්ඨත්වය තිබුණත් උන්වහන්සේ අනුනායකකමක් වත් නොලද්දේ තනතුරු හඹා නොගිය නිසා පමණක් නොව අනුගාමිකයන් පිරිසක් ඇති කිරීමටද නොවෙහෙසුණු නිසාය.

හේතු කීපයක් නිසාම ධම්මානන්ද හිමියෝ මට බෙහෙවින් කිට්ටු වූහ. එක හේතුවක් නම් මම තුම්පනේ මන්ත්‍රීවරයා වීමයි. උන්වහන්සේ තමන්ගේ ගම රටට බොහෝසේ ඇළුම් කළහ. මා හමුවූ හැමවිටම පාහේ උන්වහන්සේ උනන්දු වූයේ අලුත්ගමත් එය ඇතුළත් තුම්පනේ ගංඅට පළාතත් දියුණු කිරීමටයි. උන්වහන්සේගේ නමින් ඒ දුෂ්කර ගම්මානයේ පුස්තකාලයක් ඉදිවී තිබේ. එය වැඩිදියුණු කිරීමට ධම්මානන්ද හිමි නොගත් වෙහෙසක් නැත. ඒ ගම්වල ගමනාගමනය දුෂ්කර වූ බැවින් ගංඅටට හොඳ පාරවල් තනාදෙන ලෙස මට නිතර උපදෙස් දුන්හ. ගංඅට පළාත සිංහල බෞද්ධ ඉතිහාසයේ වැදගත් තැනක් දරයි. 17 වැනි සියවසේ සිංහල බුද්ධාගම පුනරුත්ථාපනය කිරීමට මුල් වූ වැලිවිට සරණංකර සංඝරාජ හිමි ඉපදුනේ ගංඅටෙයි.  උන්වහන්සේ පාලි භාෂාව ඉගෙන ගැනීමට ළඟපාත තිබූ අලගල්ල කන්දට දිනපතා ඇවිද ගොස් එහි සිරකරැවෙකු ලෙස රඳවාගෙන සිටි ලෙව්කේ අදිකාරමගෙන් ගුරැහරැකම් ලබා ගත්හ. ලෙව්කේ මැතිඳු යන්තම් පාලි කට ගාගත් කෙනෙක් විය. ඔහුගෙන් මූලික කරුණු දැනගත් සරණංකර හිමි පාලි භාෂාව මැනවින් දත් වටපුලුවේ හිමිගෙන් වැඩිදුර ඉගෙන ගත්හ. ඉන් ඉක්බිතිව උන්වහන්සේ යාබදව පිහිටි සූරියගොඩ පන්සලේ පදිංචි වූහ.

එක් කලෙක මල්වත්තේ පන්සල් අතර තුම්පනේ පන්සල ප්‍රබල තැනක් ගත්තේය. එහෙත් දැනට අවුරුදු හැටකට පමණ පෙර මහානායක ධූරයට පත් වූ වැලිවිට සරණංකර හිමියන්ට (උන්වහන්සේටද තිබුණේ සංඝරාජ හිමිගේ නමමයි) එම තනතුරේ කටයුතු කිරීමට ලැබුණේ ඉතා කෙටි කාලයකි. වැලිවිට මහනායක හිමි එම තනතුර අවුරුද්දක්වත් දැරීමට පෙර හෘදයාබාධයකින් අපවත් වූහ. ඉන්පසුව තුම්පනේ පන්සල ඉහළ තැනකට ආවේ නැත. ධම්මානන්ද හිමිද වරක් අනුනායක තනතුරට තරගකොට පරාජයට පත් වූහ. මල්වත්තේ විසූ සංඝයාගෙන් වඩාත්ම සමාජ සේවා කටයුතුවලට සහභාගී වූයේ ධම්මානන්ද හිමියන්ය. උන්වහන්සේට සමකළ හැකිවූයේ දැනට කලකට පෙර අපවත් වූ පහමුනේ අනුනායක හිමියන් පමණය.

මාගේ පියතුමාද ඒ කාලයේ මහනුවර නගරයේ පොදු කටයුතුවලට ස්වෙච්ඡාවෙන් සහභාගී වූ කෙනෙකි. තරැණ පහමුනේ හිමියන්ට ඉංග්‍රීසි උගැන්වූයේ මාගේ පියතුමාය.  ඒ කාලයේ අනාගත අනුනායක හිමියන් වහන්සේ සංඝරාජ පිරිවෙනේ ශිෂ්‍යයෙකුව සිටියහ. දැන් කාලයට වඩා එකල මහනුවර රජයේ සේවකයෝ තම රාජකාරිවලට අමතරව ආගමික හා සමාජ කටයුතුවලට අතහිත දුන්හ. මහනුවර ගුරුවරුන් එක්ව පිහිටුවාගත් සමුපකාර සමිතියේ ගරු භාණ්ඩාගාරික වූයේ මගේ පියාය. සෑමදාම ඔහුගේ රාජකාරිවලින් පසුව කාසල් වීදියේ පිහිටි සමුපකාර සමිතියේ කෑෂ් පොත් පරීක්ෂා කර අනුමැතිය දුන්නේ ඔහුයි. එකල ගණකාධිකාරවරුන් සිටියේ නැත. දිනයේ ගනුදෙනු ඇතුළත් පොත් පරීක්ෂා කිරීමට මම ඇතැම්විට මගේ පියාට සහාය වුණෙමි. මම මුලින්ම මහනුවර ඡන්දයට ඉදිරිපත් වූ අවස්ථාවේ එම බලගතු සමුපකාර සමිතියේ සාමාජිකයෝ මගේ සහායට පැමිණියහ.

ධම්මානන්ද හිමි ඒ කාලයේ පුණ්‍යසම්පාදන නමින් සමාජ සේවාව සඳහා සමිතියක් හදාගෙන සිටියහ. පුණ්‍යසම්පාදන සමිතියේ කාර්යාලය අධ්‍යාපන සමුපකාරයට යාබදව පිහිටා තිබූ නිසා මා පියාත් තරුණ ධම්මානන්ද හිමියනුත් ගජමිතුරෝ වූහ. පහමුනේ හිමියන්ද එකී වැඩවලට එක්වුණාදැයි මට දැන් මතක නැත. මෙම මිතුදම නිසා ධම්මානන්ද හිමි නොයෙක්වර අපේ නිවසට පැමිණ මාගේ පියා සමඟ කතාකරමින් සිටිනු මා දැක තිබේ. මේ මිත්‍රත්වය හුවා දක්වන සිද්ධියක් ගැන මම මෙතැන සටහනක් තබමි. දැනට අවුරැදු කිහිපයකට පෙර මාගේ පියා මිය ගියේය. අපේ සිරිත පරිදි එම මරණය අස්ගිරියට හා මල්වත්තට දැනුම්දීම අවශ්‍ය විය. එම කනගාටුදායක පණිවුඩය රැගෙන මම, දිලුම් අමුණුගම එකී විහාරස්ථානවලට පිටත් කළෙමි. එය පිළිගත් අස්ගිරියේ මහනායක හිමියෝ සම්ප්‍රදාය බිඳිමින් එදා රෑම අප පියාට ගෞරව කිරීමට ගෙදරට වැඩම කළහ. (සම්ප්‍රදාය වශයෙන් මහානායක නමක් ‘කිලි’ වදින නිසා මරණ ගෙදරකට වඩින්නේ නැත.) මල්වතු කාරක සභාව නිල වශයෙන් නියෝජනය කරමින් එම කාරක සභාවේ පිරිසක් මහානායක හිමිගේ නියෝගය පරිදි අප නිවසට පැමිණියහ. දුක්බර පණිවුඩය දීමට ධම්මානන්ද හිමියන්වද දිලුම් මුණගැසුණේය. උන්වහන්සේගේ ප්‍රතිචාරය මට කවදාවත් අමතක වන්නක් නොවේ. “දිලුම් මහත්තයා මට ආරාධනා කළත් නැතත් මම එනවා. මම අමුණුගම මහත්මයාගේ කිට්ටුවන්ත මිත්‍රයෙක්. අපි එක්ව පුණ්‍යසම්පාදන සමිතිය ගොඩනැගුවේ. අදම මම එතුමාගේ නුගවෙල නිවසට එනවායි” උන්වහන්සේ පැවසූහ. කී පරිදිම එදා සවස් වනවිට ධම්මානන්ද හිමියෝ අප නිවසට පැමිණියහ. අවසන් කටයුතු කරන දවසේද උන්වහන්සේ නැවතත් පැමිණියහ.

සියම් නිකායේ සංඝයා වහන්සේලාත් උඩරට ප්‍රභූනුත් අතර නොබිඳෙන මිතුදමක් පුරාතන කාලයේ සිට තිබුණි. එය නිරූපණය කරන ජනප්‍රවාදයක් ඇත. අස්ගිරිය හෝ මල්වත්තේ උසස්ම හිමිනමක් අපවත් වූ විට සෙංකඩගල වැවේ නිල් දිය ලේ පාටට හැරෙනවාය යන්න අපේ අත්තම්මලා කියා දී තිබේ. ඇත්තෙන්ම, ධම්මානන්ද හිමි අපවත් වීමත් සමඟම මහ වැහි කඩා වැටී නුවර වැවේ වතුර දුඹුරු පාටට හැරුණේය!.