2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

චීනය පෙරළන ෂී ජින් පිං

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 226

මහජන චීනයේ වැදගත්ම සිද්ධියක් වන ජාතික කොංග්‍රසය පසුගියදා සාර්ථකව නිම විය. චීනයේ සතර දිග්භාගයෙන්ම පැමිණි මහජන නියෝජිතයෝ කොමියුනිස්ට් පක්ෂයේ නව මාවතත් තවත් දශකයකට එම මාවත මෙහෙයවන නායකයිනුත් තෝරා පත් කර ගත්හ.  මාවෝ සේතුංගේ කාලයේ පටන් පක්ෂයේ ප්‍රතිපත්ති තීරණය කරනු ලබන්නේ කොංග්‍රස හරහාය.  පක්ෂයේ සෑම හැරවුම් ලක්ෂයක්ම එසේ නියෝජිතයින්ගේ සම්මේලනයක් මගින් වාද විවාද කර අවසානයේ තීරණය කරනු ලබයි.

කොමියුනිස්ට් රාජ්‍යයක් ඇති කිරීමට පෙර පවා මෙම පක්ෂ සම්මේලන තීරණාත්මක ඒවා විය. දැනට වඩා ඒ කාලයේ තියුණු මතභේද ඇති විය. මධ්‍යම කාරක සභාවේ අදහස් අනුව බෙදී සිටි අවධියකදී දෙපක්ෂයම අද්විතීය නායකයා ලෙස සලකන ලද මාවෝ සේතුංගේ තීරණවලට අවනත වීමේ සිරිතක් තිබුණේය. දැන් හෙළිදැක්වෙන කරුණු අනුව චූ එන් ලායි හා ඩෙං ශාවෝ පිං වැනි නායකයින් ඇතැම්විට මාවෝගේ අදහස්වලට පටහැනි අදහස් දැරුවත් කට පියාගෙන සිටියෝය. මාවෝගේ “මහා ඉදිරි පිම්ම” හා “සංස්කෘතික විප්ලවය” පිළිබඳ විරෝධාකල්ප තිබුණද ඔහුගේ පෞර්ෂය හා බලය ඉදිරියේ සෙසු නායකයින් නිහඬ වූහ. දඩබ්බර නායකයින් කීපදෙනෙක් පමණක් මාවෝව විවේචනය කිරීමට මැලිවූයේ නැත. කොරියානු යුද්ධයේදී අමෙරිකන් හමුදාවන්ට එක එල්ලේම පහරදී ඔවුන් රටේ දකුණු පළාතට පලවා හැරීමට සමත් වූ යුද සෙනෙවි පෙංඩේ හුවායි නිර්භයවම මාවෝගේ “මහා ඉදිරි පිම්ම” ප්‍රතිපත්තිය එළිපිටම විවේචනය කළේය. සෙසු නායකයන් ද පෙං ගේ මතයේ සිටිය ද මාවෝට විරුද්ධව යෑමට බියවූහ. තමාට එල්ල කරන ලද අභියෝගය නිසා මාවෝ ඔහුගේ පැරණි සගයා වූ පෙංට සමාව දුන්නේ නැත. ඔහුගේ ප්‍රබල නිලයෙන් එළවා දැම්මා පමණක් නොව සංස්කෘතික විප්ලවයේදී පෙංට වද හිංසාකොට මරා දමන තෙක් මාවෝ නිහඬව සිටියේය.

මාවෝගේ අවසන් කාලයේදී කරළියට පැමිණි “හතර දෙනාගේ කල්ලිය” චූ එන් ලායි ගේ නායකත්වයට අභියෝගයක් එල්ල කළේය. පැරණි කොමියුනිස්ට් නායකයින් අතරින් ජනප්‍රියම නායකයා වුයේ චූ එන් ලායිය. මේ වනවිට චූ සිටියේ දරුණු රෝගී තත්ත්වයකයි. එහෙත් ඔහු මහරෝග්‍යාශාලාවෙන් ලෙඩ පිටින් පැමිණ එකල පැවති කොමියුනිස්ට් කොංග්‍රසය අමතමින් චීනය නව නූතන මාවතකට යොමුකරන “නවීකරණ හතර” ගැන හෘදයාංගම දේශනයක් කළේය. හතර දෙනාගේ කල්ලිය ඔහුට කොතරම් වෛර කළේද යත් අවසන් කාලයේ චූට නියම බෙහෙත්හේත් පවා නොලැබුණේය. ඔහුගේ දකුණු අත මෙන් දශක පහක් පමණ සේවය කළ චූ ගේ මළගමට මාවෝ පැමිණියේ නැත. මේ යුගය චීන නායකයින්ගේ ගැටුම් හා එදිරිවාදිකම් අදහාගත නොහැකි තරමේ මිනිස්දමින් තොර ඒවා බව දැන් හෙළිදරව් වෙයි.

මාවෝගේ මරණයෙන් පසුව චීනය නව ආර්ථික හා දේශපාලන මාවතකට පිලිපන්නේය.  “හතර දෙනාගේ කල්ලිය” අත්අඩංගුවට ගෙන දිවි ඇතිතෙක් සිර දඩුවම් නියම කරන ලදි. එම කල්ලියට නායකත්වය දුන් මාවෝගේ බිරිය පසුව සිරගෙදර තුළ සිය දිවි හානිකර ගත්තීය. එම යුගය අවසන් වුයේ ත්‍රාසජනක ලෙසයි.

ඉන්පසුව බලයට පැමිණි ඩෙං ෂාවෝ පිං සහ ඔහුගේ අනුගාමිකයින් චීනය නව මාවතකට යොමු කළේය. එක් අතකින් විදේශ ආයෝජනය සඳහා රට විවෘත කරන ලදී.  ශතවර්ෂ ගණනාවක් දුප්පත්ව සිටි චීනය ගොඩනැගීමට දේශීය සම්පත් පමණක් ප්‍රමාණවත් නොවන බව හැඟුනෙන් ඩෙං ආර්ථික ක්ෂේත්‍රයේ විප්ලවකාරි නව අදහස් ක්‍රියාත්මක කළේය. තම රටට ආයෝජනය කිරීමට හැකියාව තිබූ බටහිර රටවල් සමඟ කිට්ටු සම්බන්ධතා ඇතිකරගත් ඔහු රටේ පැරැණි නීතිරිතී බොහෝමයක් ඉරා දමා ආයෝජනයට හා වෙළඳාමට හිතකර ප්‍රතිපත්ති නිර්භවයම රටට හඳුන්වා දුන්නේය.

එම නව ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස චීනය සීග්‍රයෙන් දියුණු විය. එහි දුප්පත්කම පිටුදැකීමේ දැවැන්ත කාර්යය ඉටුකිරීමට හැකිවූයේ මුළු රට තුළම දිවෙන ලෙස යටිතල පහසුකම් දියුණු කිරීමෙනි.  චීනයේ විස්මයජනක ආර්ථික දියුණුව කෙරෙහි සෙසු ලෝක නායකයින් බලා සිටියේ ඊර්ෂ්‍යාවෙනි. විශේෂයෙන් අමෙරිකන් ඩොලර් චීනයට ගලා යෑමත් එහි නිපදවන ලද භාණ්ඩ බටහිර රටවල් ආක්‍රමණය කිරීමත් නිසා ජාත්‍යන්තර වෙළඳාම අතින් චීනය මුල්තැනට පත්විය. තරගයෙන් පැරදුණු බටහිර රටවල් විදේශීය භාණ්ඩ සිය රටට පැමිණිම සීමා කිරීමට වැටවල් බැන්දෝය. විවෘත ගෝලීය වෙළඳාම යන සටන් පාඨය ලොවට මීට පෙර නිර්දේශ කළ බටහිර රටවල් දැන් ආනයන සීමා කිරීමට තර්ක විතර්ක ඉදිරිපත් කරති. පසුගියදා චීන නායක ෂී ගෝලීයකරණය හා නිදහස් වෙළඳාම අත්‍යවශ්‍ය බව පැහැදිලිවම ප්‍රකාශ කරමින් බටහිර සටන් පාඨය ඔවුන් වෙතටම දමා ගැසීය. 

මෙදා අවසන් වූ කොංග්‍රසයේ ප්‍රධාන ප්‍රතිඵලය සභාපති ෂී ජින් පිංගේ නායකත්වය තහවුරු වීමයි. ඔහුගේ දර්ශනය දැන් පක්ෂයේ ව්‍යවස්ථාවටද ඇතුළත් කර තිබේ. මීට පෙර එවැනි ගෞරවයක් හිමිවූයේ සභාපති මාවෝට පමණි. සභාපති ෂී ගේ බලය තහවුරු කිරීමට ඔහු යොදාගත්තේ දූෂණ විරෝධී පිළිවෙතයි. ඒ අනුව ඔහුගේ මූලිකත්වයට අභියෝග කළ හැකි නායකයින් සියලුදෙනාම දැන් ඉවත්කර තිබේ. ඔහුගේ ප්‍රධාන තරඟකරැවා බෝ ෂී ලායි මරණ දඬුවමක් හමුවේ හිරබත් කමින් සිටී. සභාපති ෂී ගේ ක්‍රියාමාර්ග මගින් පැරුණි දූෂිත කොමියුනිස්ට් නායකයින් බොහෝ දෙනෙක් ඉවත්කර ඔහුගේ හිතවතුන් පත්කර ගැනීමට හැකිවිය. අනික් අතට ඔහු චීන ආර්ථිකය ඉදිරියට එන අභියෝගවලට මුහුණදීමට ප්‍රතිව්‍යූහගත කරමින් සිටී. පෙරට වඩා දේශීය වෙළඳපොළක් ඇති කිරීම සඳහා පොහොසත් ග්‍රාමීය ජනතාවක් නිර්මාණය කිරීම අවශ්‍යය. එමෙන්ම කර්මාන්තවල නිෂ්පාදන ධාරිතාවය වැඩි දියුණු කිරීමට ඔහු තමාට හිතවත් කොමියුනිස්ට් පාක්ෂියකයින් විශාල කර්මාන්ත ශාලාවලට අනුයුක්ත කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00