2017 ජුලි 08 වන සෙනසුරාදා

සමන් කැලේගම

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 189

දැනට අවුරුදු පනහකට පමණ පෙර කොළඹ සේවය කළ ඉහළ පෙෙළ් රජයේ නිලධාරීන් බොහෝ දෙනකුට තමන් සතු නිවාස තිබුණේය. කොළඹ උපන් එවන් බොහෝ දෙනකුට ගෙවල් දෙමාපිය උරුමයෙන් ලැබුණ අතර, ඇතැම් සිවිල් සේවකයින්ට දෑවැදි හැටියට විශාල ගෙවල් විවාහ වන විට ලැබුණි. එබැවින් පිටපළාත්වල ඉපිද කොළඹ සේවය කිරීමට පැමිණි නිලධාරීන්ට රජයේ නිවාස ලබාගැනීම සඳහා අද මෙන් විශාල තරගයක් නොවීය. ඔවුන්ට ස්ථාන මාරුවක් ලැබුණු විට රජයේ කුලී නිවසක්ද හිමිවීම සිරිතක් විය.

ඉතාම ළාබාල වියේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක තනතුර මට ලැබුණු විට කොළඹින් රජයේ නිවසක් අවශ්‍ය බව මම අපේ ස්ථීර ලේකම් වූ ජී.පී.වී සමරසිංහට දන්වා සිටියෙමි. ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාට සිය සේවය කාර්යාල වේලාවන්ට පමණක් සීමා නොකළ හැකි බව පිළිගත් ඔහුගේ මැදිහත්වීමෙන් කොළඹ විජේරාම මාවතේ ඉදිකරන ලද අලුත්ම නිවාස සංකීර්ණයේ ගෙයක් මට ලැබුණි. රජයේ නිවාස අතුරින් වඩාත්ම ආකර්ෂණීය ගෙවල් අට තිබුණේ විජේරාම මාවතේය. ඉන් එකක් මට ලැබීම මහත් භාග්‍යයක් විය. ඒ නිවාස අටේ සිටියේ රජයේ උසස්ම නිලධාරීන්ය. ඉන් එකක විසූයේ පසුව ජනාධිපති ලේකම් වූ මැණික්දිවෙල මහතාය. ඔහු ඒ වන විට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායකගේ සහකාර ලේකම්වරයා විය. මාගේ නිවසට යාබදව සිටියේ සමූපකාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වූ බෝගොල්ලාගම මහතාය. ඔහු රෝහිත බෝගොල්ලාගමගේ ලොකු අප්පච්චීය. ටික කලෙකින් පසුව තවත් නිවසකට සංස්කෘතික ඇමැති වූ ටී.බී තෙන්නකෝන් පදිංචියට අවේය. ඉතාම සුහදශීලී කෙනකු වූ තෙන්නකෝන් ඇමැතිතුමා මගේ පියාගේ මිතුරෙක් වූයෙන් මට ඔහුව නිතර මුණ ගැසුණි. තුවායක් හිසේ බැඳගෙන පාන්දරින්ම පාරේ  ඇවිදින්න යෑම ඔහුගේ සිරිත විය. රෑ දෙගොඩහරියේ දඹුල්ලේ ජනතාව ඔහු හමුවීමට බස්වලින් පැමිණ තම ඇමැතිවරයා හමු වූ හැටි මට තවම මතකය. මෙසේ අහම්බෙන් මෙන් එක්තැන් වූයේ උඩරට හා හත්කෝර‍ළේ උපන් රජයේ සේවකයින් බව ටික කලෙකින් මට පැහැදිලි විය. අප බොහෝදෙනා ඥාතීන් මෙන්ම ගම්වැසියන් වූ නිසා එම නිවාසවල වෙසෙන්නන් අතර කිට්ටු ආශ්‍රයක් ඇතිවිය. මාගේ අසල් වැසියා වූ බෝගොල්ලාගම සමාජශීලී කෙනෙක් විය. ඔහුගේ නිවසට හත්කෝරළයේ ප්‍රභූහු නිතර අවා ගියෝය. වන්නිනායක, ඇම්.ඩී බණ්ඩා, ඊරියගොල්ල වැන්නන් ඔහුව හමුවීමට පැමිණියේය. සමූපකාර දෙපාර්තමේන්තුවේ ඔහු සමඟ එකට වැඩ කළ පසුව ජනාධිපතිවූ ඩී.බී විජේතුංග ද ඔහුගේ කුළුපඟ මිතුරෙකු විය. මගේ සහෝදරියගේ සැමියා වූ එස්.එම් තෙන්නකෝන් දිසාපතිවරයාද හත්කෝරළේ කෙනෙක් වූ බැවින් එම සමාගම විසින් මහනුවර උපන් මාව ද සමීපතයෙකු ලෙස ඇතුළත් කරගන්නා ලදී. බෝගොල්ලාගම ගමට ගොස් ආපසු පැමිණි කල ගමේ විදියට පිසින ලද රතුබත් හා රස වෑංජන පිරි කුරුණි පෙට්ටියක් ගෙනාවේය. එම බතේ රස විඳීමට ඔහු හත්කෝරළේ උපන් මිතුරන්ට ආරාධනා කළේය. එසේ ආරාධනා ලැබූවන් අතර, හත්කෝරළේ උපන් ආචාර්ය ජයන්ත කැලේගම ද විය. ඔහු එන ඇතැම්විට සිය දෙටු පුත් සමන් නැමති සිසුවා ද එක්කරගෙන ආවේය. උත්පත්තියෙන් ගැමියන් වූ අපි සියලුදෙනාම මහත් ආසාවෙන් ගමේ පිසින ලද බත, පොළොස් ඇඹුල, වැව් මාළු  හා දඩ මස් අනුභව කළෙමු. 

ඔහු කුඩා කල සිට මා හඳුනන සමන් තුළ මා දුටුවේ වැදගත්කම, තැන්පත් බව හා මිත්‍රශීලී බවයි. ඔහු ඕනෑවට වඩා තම හැඟීම් ප්‍රදර්ශනය කළේ නැත. එහෙත් ඔහු තුළ මනුෂ්‍යත්වය හා අවංකභාවය මොනවට දක්නට තිබුණේය. එම විශිෂ්ට ගතිය හඳුනාගත්තේ ඔහුගේ මිතුරන් කීපදෙනා පමණක් නොවේ. ඔහුගේ ශිෂ්‍යයින් ද, වෘත්තීමය සගයින් ද ජාත්‍යාන්තර ශාස්ත්‍රඥයින් මෙම වැදගත්කම හොදින් හඳුනාගෙන සිටියේය.  සමන්ගේ අකල් මරණයෙන් කම්පා වුණ එකී කොටස් විසින් එවන ලද දහසකුත් පණිවිඩ තුළින් එය පිළිබිඹු විය. ෙපෟද්ගලික න්‍යායපත්‍රයක් පසුපස හඹා නොගිය සමන් අප රටේ ආත්මාර්ථකාමී “දේශීය බුද්ධිමතුන්ට” අභියෝගයක් මෙන්ම ආදර්ශයක් ද විය. සමන් සහ මා එක්ව ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර සම්මේලන විශාල ගණනකට සහභාගී වී ඇත. විශේෂයෙන්ම සාර්ක් රටවල් අතර ඇති කරන ලද අර්ථශාස්ත්‍රඥයින්ගේ සම්මන්ත්‍රණවලට එසේ සහභාගීවු අතර,  අප  කලාපයේ දක්ෂතම අර්ථශාස්ත්‍රඥයින් සමඟ කතිකාවක යෙදීමට අපට අවස්ථාව සැලසුනේය. අමර්ත්‍යා සෙන්, ෂෝබාන් රේමාන් හා මොන්ටෙක් අලුවාලියා වැනි ලෝකප්‍රකට  අර්ථශාස්ත්‍රඥයින් ඔවුන් අතර විය. ඒ  ශාස්ත්‍රඥයින් සියලුදෙනාම සමන්ව තම ඇතුළු කට්ටලේ සමාජිකයෙකු ලෙස සැලකූ බව මම හොඳින් දනිමි.
තමන් භාරගත් වැඩක් අකුරටම කිරීම ඔහුගේ සුවිශේෂි ලකුණක් විය. ඉන් මුල්තැන ලැබුණේ ඔහු විසින් ගොඩනඟන ලද ආයතනයක් වූ ප්‍රතිපත්ති පිළිබඳ කේන්ද්‍රයටයි. එම කේන්ද්‍රයේ ආර්ථික පර්ෙය්ෂණ හා ලංකා ආර්ථිකය පිළිබඳ වාර්ෂික වාර්තාව මහ බැංකුවේ වාර්තාව හා මුදල් ඇමතිගේ අය වැය දේශනය හා සමානව වැදගත් විය. දෙවැන්න ඔහු ලංකාවේ බාහිර වෙළද ගිවිසුම් ගැන දැක්වූ උනන්දුවයි. අපනයනයෙන් තොරව ලංකා ආර්ථිකය දියුණු කළ නොහැකි බව ඔහු තරයේ ඇදහුයේය. රාජ්‍ය බලය වෙනස් වූවත් නව රජය සමන්ගේ මේ දර්ශනය මෙන්ම හැකියාවන් ප්‍රයෝජනයට ගත්තේය. ලංකාවට සුබ සෙත ගෙනෙන වෙළද ගිවිසුම් ගැන මෙරට ඇතැම් කොටස් අතර ඇති විචිකිච්ඡාව සමන්ට මානසික පීඩනයක් විය. අප හමු වූ හැම විටම ඔහු මාගෙන් විමසුවේ මේ ගැන කරන්නේ කුමක්ද යන්නයි. ඒ මානසික පීඩනයද සමන්ගේ අකල් මරණයට හේතුවූවායැයි මට සිතේ.