2023 මැයි 21 වන ඉරිදා

වසංගතයෙන් අධිවසංගතයට!

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 71

බිඳවැටුණු ආර්ථිකයෙන් බැටකමින් සිටින ජනතාව මතට කොරේ පිටට මරේ කිව්වාක් මෙන් දැන් ඩෙංගු සහ කොවිඩ් ලෙඩද කඩා වැටෙමින් තිබේ. ඉකුත් දින 20ක කාලය තුළදී කොවිඩ් රෝගීන් 16 දෙනකු මියගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර තිබූ අතර ඉකුත් සතියේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඩෙංගු උණ රෝගීන් 2055 දෙනකු වාර්තා වී ඇතැයිද සඳහන් ය. එය ඊට පෙර සතියට සාපේක්ෂව සියයට 05ක ඉහළ යාමක් බවද ජාතික ඩෙංගු මර්දන වැඩසටහන ප්‍රකාශ කර තිබිණි. මේ දක්වා මියගොස් ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 22ක් බවද සඳහන්ය.

වාර්තා වන අන්දමට බස්නාහිර ඩෙංගු රෝගයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ. රටපුරා ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50කට අධික පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. ජනගහණය අතින්ද ඉහළම ප්‍රතිශතයක් වාර්තා වන බස්නාහිර පළාතේ මේ තරමට ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම භයානක තත්ත්වයක් බව පෙන්වා දිය යුතුය. නිසැකවම මෙය ඩෙංගු රෝගය වසංගත තත්ත්වයකින් අධි වසංගත තත්ත්වයකට පා තැබීමකි. දිවයින පුරාම රෝහල් රැසක වාට්ටු ඩෙංගු රෝගීන්ගෙන් පිරී යන තත්ත්වයක් තුළ රටම අධිවසංගත තත්ත්වයක් හමුවේ පවතින බව පැහැදිලිය.

සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන පරිදි මේ වනවිට ශීඝ්‍රයෙන් පැතිර යන්නේ ඩෙංගු රෝගයේ තෙවැනි ප්‍රභේදයයි. එය බෝවීමේ ඉහළ ප්‍රවණතාවක් ඇතිවීමට හේතුව විය හැක. මීට පෙර දැන හඳුනාගෙන තිබූ ප්‍රභේද දෙකට වඩා නිසැකවම මේ ප්‍රභේදය දරුණු බව මේ වනවිටද පෙන්නුම් කරමින් තිබේ. සියලුදෙනාම තමන්ගේ ආරක්ෂාව සඳහා ඩෙංගු රෝගය බෝවීමට තිබෙන සියලු හැකියාවන් මොට කර දැමිය හැකිනම් විය හැකි අනතුරු සෑහෙන දුරකට වළක්වා ගත හැකිවනු ඇත.

කෙසේ වුවද ඩෙංගු රෝගය පැතිර යාම වළක්වා ගැනීමට තවමත් බහුතරයක් ජනතාව සැබෑ ලෙසම ක්‍රියාත්මක නොවන ආකාරයක්ද පෙනී යමින් තිබේ. ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පමණ වාර්තා වන්නේ පාසල් සිසුන් ඇසුරෙන් බව ප්‍රකාශ වී තිබීම එම තත්ත්වයේ බැරෑරුම්කම පෙන්වා දෙයි. ජනතාව විසින් තම ගේ අවට ප්‍රදේශයේ මදුරුවන් බෝ වීම වළක්වා ගැනීමට දැනට වඩා වැඩි උත්සාහයක් දැරිය යුතු බවට එය ප්‍රබල සංඥාවකි. තම නිවෙස්වල වෙසෙන දූ දරුවන් ඩෙංගු රෝගයෙන් වළක්වා ගැනීමට තරම් උනන්දුවක් මවුපියන්ට නැත්නම් එය භයානක තත්ත්වයකට අත වැනීමක් බවද කිව යුතුය.

ඩෙංගු රෝගය පැතිරෙමින් තිබෙන බවට තොරතුරැ වාර්තා වෙමින් තිබූ මුල් දිනවලදීම අවශ්‍ය පියවර ගත්තා නම් මේ තරම් දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදුවන්නේ නැත. මෙහි වගකීමෙන් කොටසක් ඉහළ නිලධාරීන්ට යොමුවන බවද කිව යුතුය. රෝහල්වලට ඇතුළු වෙන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දිනපතා ඉහළ යමින් පවතින විට ඒ සම්බන්ධ වාර්තා වසංගත රෝග විද්‍යා අංශය හරහා ජාතික ඩෙංගු මර්දන ඒකකයට ලැබී නොතිබිණිදැයි සොයාබැලීම අවශ්‍යය. රෝගයේ පැතිරීම වසංගතය අධිවසංගත තත්ත්වයකට ඇදෙන තුරු එම තොරතුරු වසං වී තිබුණා නම් එය සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට වහාම යොමුවිය යුතුය. අධිවසංගත තත්ත්වයෙන් යළි සාමාන්‍ය තත්ත්වයට රෝගය පැතිරීමේ අවදානම අඩුකර ගැනීමට සෑහෙන ප්‍රයත්නයක් දැරීමට සිදුවෙයි. ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් පමණක් නොව පළාත්පාලන ආයතන, නිලධාරීන් සහ සාමාන්‍ය ජනතාවගේද සහාය ලැබීම අත්‍යාවශ්‍ය ය.

ඩෙංගු රෝගය පැතිරීම මීට පෙර කාලවලට වඩා ජනතාවගේ ජීවන තත්ත්වය් කෙරෙහි දැඩිව බලපෑම් එල්ල කිරීමටද හේතු විය හැකි බවත් පෙන්වා දෙනු කැමැත්තෙමු. දැඩි ආර්ථික පීඩනය නිසා ආහාර සහ පෝෂණ තත්ත්වය අතින් බොහොමයක් ජනතාව සිටින්නේ පහළ මට්ටමකය. එසේම රෝහල්වලද ප්‍රතිකාර සඳහා ඖෂධ වර්ගද හිඟය. විශේෂයෙන්ම පාසල් යන වයසේ දරැ දැරියන්ගෙන් සෑහෙන පිරිසක් මන්දපෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින බවටද වන වාර්තා දිගින් දිගටම පළ විය. එවැනි සෞඛ්‍ය සහ පෝෂණය අතින් දුර්වල පවුල්වල දූ දරුවන් ඩෙංගු රෝගයේ වින්දිතයන් බවට පත්වුණොත් ඔවුන් විශාල අවදානමකට වැටීමට ඉඩ තිබේ. ඒ තත්ත්වය වළක්වා ගැනීමට උපරිම උත්සාහය දැරීම අවශ්‍ය ය.

ඩෙංගු රෝගය හොඳින්ම මර්දනය කිරීමට නම් මදුරුවන් බෝ වීම වැළැක්වීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුය. කාර්යාල පරිශ්‍ර පිරිසුදු කිරීම, රෝහල් සහ පාසල් පරිශ්‍ර මදුරුවන් බෝ නොවන ප්‍රදේශ බවට පත්කර ගැනීම සහ ජනතාව පදිංචිව සිටින නිවාසද මදුරුවන්ගෙන් තොර පරිසරයක් බවට පත්කර ගැනීම සියලුදෙනාගේ වගකීමකි. රෝගය පිළිබඳ කතා කරන තාක්කල් පමණක් ඒ සඳහා උනන්දු වීමෙන් පලක් නැත. ඩෙංගු රෝගය තුරන් කිරීමේ වැඩපිළිවෙළ ඉහළම ජවයකින් දිගටම පවත්වාගෙන යාම හැර වෙනත් විකල්පයක් අපට ඉතිරිව නැත.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00