2023 මාර්තු 26 වන ඉරිදා

දේශපාලනයේ නූල් සූත්තර

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 188

මේ දවස්වල ලංකාවේ ලොකුම මාතෘකාව අයි.එම්.එෆ්. ණය ලැබීම බවට පත්වුණේ එතෙක් තිබූ ලොකුම මාතෘකාව වූ පුංචි ඡන්දෙ කතාව යට කරගෙනය. ජනාධිපති රනිල් අයි.එම්.එෆ්. ණය ලැබුණු බව සඳහන් කරමින් පාර්ලිමේන්තුවේ කළ නිල ප්‍රකාශයේ උණුසුම යන්නත් කලින් පුංචි ඡන්දය දින නියමයක් නැතුව කල් ගියේය. ඒ සමඟම පාර්ලිමේන්තුව හැර රටේ සියලුම ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරන මහජන නියෝජිතයන්ගෙන් තේරී පත්වුණු ආයතන සියල්ල අහෝසි කර්මයට ගියේය.

මහජන නියෝජිතයන් සිටින එකම ආයතනය වන පාර්ලිමේන්තුව ඇතුළේ තිබෙන්නේද ජනමතයේ විකෘතියකි. ඒක ඇතුළේ ආණ්ඩු පක්ෂය කුමක්ද විපක්ෂය කුමක්ද කියා තෝරා බේරාගැනීම පවා අපහසුය. එහෙම තත්ත්වයකදී අමාරුවේ වැටෙන්නේ රටේ ජනතාව සතු පරමාධිපත්‍යය බලයයි. සරලව කිව්වොත් ප්‍රජාතන්ත්‍රවාදයයි.

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය එම ධූරය දැරූ කාලයේත් ඉන් පසුවත් පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අපූරු උපහාසාත්මක කතා කීමෙහි හපනෙක් විය. ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතින්ගේ සමහර කතා ''සිත නිවන කතා'' වශයෙන් වරක් ඔහු හැඳින්විය. දැනට සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා වන මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපති ධූරයෙන් විශ්‍රාම ලැබීමෙන් පසුව පැවැති එක් රූපවාහිනී සාකච්ඡාමය වැඩසටහනකදී මේ රටේ දේශපාලනය ගැන අපූරු කතාවක් කිව්වේය. වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් ඔහු මෙහෙම කිව්වේය.

''අපි අම්බලන්ගොඩ මිනිස්සු නිසා මේ රූකඩ නටවන එක ගැන සාමාන්‍ය දැනුමක් තියෙනවා. ඉතින් මේ රටේ දේශපාලනයත් සමහර විට රූකඩ නැටීමක් වගේ මට පෙනෙන අවස්ථාත් තිබෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ දැන් පේන්න තියෙන්නේ රූකඩ නටවනකොට නූල් මාරුවෙච්ච ස්වභාවයක්. ඉතින් මෙහෙම නූල් මාරුවෙච්ච රූකඩ නටවනකොට එළියට පේන්නේ කලාවක් නෙවෙයිනෙ. විකෘතියක්නෙ.''

ඔහු මේ කතාව කියද්දී භාවිත කළ වචන සෙට් එක මේ ආකාරයටම නොවුණත් ලබාදුන් පිළිතුරේ හරය එය විය. මහින්ද දේශප්‍රිය මේ කතාව කියලා ටික කාලයක් ගියත් අදටත් මේ කතාව හොඳට ගලපාගත හැකිය. එහෙම ගත්තොත් අද පාර්ලිමේන්තුව තුළ තිබෙන දේශපාලනයේ නූල් ඔක්කොම පැටලී තිබෙන බව පැහැදිලි වනු ඇත. එහෙම පටලැවීමක් නොතිබුණා නම් පොහොට්ටුවේ මැති ඇමැතිලා තමන්ගේ දේශපාලනයේ ඉලක්කගත ප්‍රධානම සතුරා වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී රටේ ජනාධිපති ධූරයට පත් කිරීමට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නේ නැත. මේ රට තමන් බාරගන්නා විට රට තිබුණේ තෙල් නැති, පොහොර නැති, ගෑස් නැති, පෝලිම්වල රස්තියාදු වූ ජනතාවක් සිටි රටක් බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරන විට ඔවුන් අත්පොලසන් දෙන්නේ නැත. ඒ මොකද ඒ තත්ත්වයට රට පත් කළ ආණ්ඩුවේ සිටියේ පොහොට්ටුවේම කොටස්කාරයන් පමණක් වීම හේතුවෙනි. තමන් බාරගත්තේ බංකොලොත් වූ රටක් බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන විට උඩ පැන පැන සතුටු වන්න විදිහක් නැත. රට බංකොලොත් වූ කාලේ රටේ නායකයා වූයේ තමන්ගේ ජනාධිපතිවරයා වූ ගෝඨාභය බැවිනි. එසේම මුදල් ඇමැතිවරුන් වූයේ මහින්ද සහ බැසිල් රාජපක්ෂලා බැවිනි.

අයි.එම්.එෆ්. ණය සම්බන්ධයෙන්ද ඇත්තේ මේ කතාවමය. රට දරුණු ආර්ථික කඩා වැටීමකට යන බවට සියලු අනතුරු ඇඟවීම් සිදු කෙරෙද්දී ලංකාව තවදුරටත් ණය ගෙවාගත නොහැකි රටක් බවට පත්වෙමින් සිටින බවට ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන පවා අනතුරු අඟවද්දී ඒ ගැන පුරෝකථන ඉදිරිපත් කරද්දී පොහොට්ටුවේ මැති ඇමැතිලා හිටියේ කසාය බීපු ගොළුවන් වගේය. හැබැයි ඒකට එකම පිළිතුර එහෙම නැත්නම් ලංකාවට තිබෙන එකම තේරීම අයි.එම්.එෆ්. සමඟ ණය සහන ගිවිසුමකට යාම බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියද්දී පාර්ලිමේන්තුවේදීත් එළියේදීත් අයි.එම්.එෆ්. එක පට්ට ගසන කතා කියන්නේ නැත. අයි.එම්.එෆ්. යා යුතු බව කියන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ආර්ථික විශ්ලේෂකයන්ටත් පහර ගහන්නේ නැත.

අන්තිමට අයි.එම්.එෆ්. එකට යා යුතු බවට පොහොට්ටුවේ මැති ඇමැති කණ්ඩායමෙන් අදහසක් හෝ තිබුණේ හදිසියේම මුදල් ඇමැති ධූරයට පැමිණි බැසිල් රාජපක්ෂට පමණි. ඒ එක්කම බැසිල් මුදල් ඇමැති හැටියට ඉන්දියාවට ගොස් එහි මුදල් ඇමැති සීතාරාම් හමුවී ලංකාවට ණය ආධාර ලබාගැනීමේ මූලික සාකච්ඡාවක් පවා පැවැත්විය. ඒ වෙනකොටත් බැසිල් අයි.එම්.එෆ්. එක සමඟ සාකච්ඡා සඳහා ලිපි ගනුදෙනුව ආරම්භ කර තිබුණි. ඔහු ධූරයෙන් ඉල්ලා අස්වූ දවසේත් ඒ ගැන සඳහන් කළේය. අද පොහොට්ටුවේ මැති ඇමැතින්ට මේ ඔක්කොම අමතක වෙලාය. එහෙම නැත්නම් ඔවුන් ඉන්නේ උවමනාවෙන්ම ඒවා අමතක වූ ගාණටය. නැත්නම් එදා එපා වූ අයි.එම්.එෆ්. ණය ලැබීම තමන්ගේ ජයග්‍රහණයක් හැටියට පෙන්වමින් තමන්ගේ හෙංචයියන් ලවා රතිඤ්ඤා පත්තු කරවන්නේ නැත. රටේ ආර්ථිකය විනාශ වුණේ තමන්ගේ කාලයේ ගනු ලැබූ තීන්දු හේතුවෙන් බව ජනාධිපතිගේ කතාවේ කියද්දී හුරේ දමන්න ඔවුන් පෙළඹෙන්නේ නැත.

ජනාධිපතිවරයාගේ අයි.එම්.එෆ්. ණය කතාව සම්බන්ධ විවාදයේදී මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පසුගිය බ්‍රහස්පතින්දා (23) කළ කතාවේදී ඒ ගැන සඳහන් කළේ මෙහෙමය.

''මේ ආර්ථික අර්බුදයට අපේ රට ගිය විදිහ ගැන අපි කල්පනා කරන්න ඕනෑ. 2010 දි පත්වෙච්ච අපේ ආණ්ඩුවත් 2015 දි බලයට පත්වෙච්ච යහපාලන ආණ්ඩුවත් ඒකට බලපාලා තිබෙනවා. 2010 දි බලයට ආපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙ ආණ්ඩුව ඉතාම අපරිණත විදිහට තමයි විදෙස් ණය අරගෙන සංවර්ධන ව්‍යාපාති දියත් කෙරුවෙ. 2015 ආපු යහපාලන ආණ්ඩුව අයි.එස්.බී. ණය ඒ කියන්නේ ස්වෛරී බැඳුම්කරවලින් ණය අරගත්තා. ඩොලර් බිලියන 10ක් 12ක් පමණ. මට හමුවූ එක් අමෙරිකානු නිලධාරියෙක් මට කියා තිබෙනවා ඔය අයි.එස්.බී. ණය අරගෙන දීර්ඝ කාලීන ප්‍රතිඵල ලැබෙන ව්‍යාපෘතිවල ආයෝජනය කරන එක සියදිවි නසා ගැනීමක් කියලා. තුන්වැනි කාරණේ තමයි 2019 දි ආපු අපේ ආණ්ඩුව. ඒ ආණ්ඩුව කාලෙ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති වෙලා හිටපු මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් අවස්ථා ගණනාවකදි මුදල් අමාත්‍යාංශය ලිඛිතව දැනුම් දීලා තිබෙනවා රටේ ආර්ථිකය අර්බුදයකට යන බව. එයට ප්‍රතිකර්මයක් හැටියට අයි.එම්.එෆ්. වගේ ආයතනයක් එක්ක ගිවිසුමකට ණය යා යුතු බවත් කියා තිබෙනවා. 2020 ඉඳන් අවස්ථා හතරකදි මෙහෙම ලියුම් ලියා තිබෙනවා. මේ කඩදාසි හුඟක් අය ළඟ නැහැ. නමුත් මම ළඟ තිබෙනවා. මම ඒවා සභාගත කරන්නෙ නෑ. මම කවදා හරි මේ ගැන පොතක් ලියනවා.''
මෙහෙම කියපු චරිත හේරත් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ කතාවට අත්පුඩි ගැසූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කිව්වේ රට බංකොලොත් බවට පත් කළේ ඔවුන්ගේ ආණ්ඩුවකින් බව ජනාධිපතිවරයාගේ කතාවෙන් ප්‍රකාශ වුණත් ඒ බව ඔවුන්ට තේරුණේ නැති බවය. එසේම අයි.එම්.එෆ්. ණය සහනය ලබාගැනීමේ පළමු පියවර තැබුවේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා වශයෙන් සිටියදී බවද ඔවුන් නොදන්නා බවය. එක්කෝ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ඒ ගැන දැනුමක් නොමැති බවය. නැත්නම් කොන්දක් නැති බවය. එහෙමත් නැත්නම් මේ දෙකම නැති බවය. මේ හැම කතාවකින්ම පැහැදිලි වෙන්නේ රටේ දේශපාලනය දැඩි ලෙස උඩු යටිකුරු වී තිබෙන බවයි. ඉහත කතාව කියූ චරිත හේරත් මන්ත්‍රීවරයාත් හිටියේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේමය. හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වැනි අපරිණත ව්‍යාපෘති ගැනත් ඔහු කතා කළේය. ඒ ව්‍යාපෘති ඉදි කරන කාලේ ඔහු ඒ ආණ්ඩුවේ ප්‍රබල හිතවතෙකි. හැබැයි පොහොට්ටුවෙන් කැඩී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයෙක් වී ඔහු තම දේශපාලනයේ ජාම බේරා ගත්තේය.

දැන් රටේ පවතින දේශපාලන රටාවේ හැටි එහෙමය. ඒකෙ තරම කොතරම්දැයි කිව්වොත් රට ආර්ථික අර්බුදයට ගියේ ඇයිද කියන කාරණය පොහොට්ටුවට අමතක වෙලාය. අයි.එම්.එෆ්. යාමට එදා විරුද්ධ වූ බවත් අද වනවිට අමතකය. අඩුම තරමින් අයි.එම්.එෆ්. යාමට මුල් පියවර තැබුවේ බැසිල් රාජපක්ෂ බවත් අද ඔවුන්ට මතක නැත.

එහෙම වාතාවරණය තිබියදී හරියටම නිලය අල්ලා ගේම ගැහුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාය. ඔහු අගමැති වී ජනාධිපති ධූරයට පත්වන තුරු එහෙම වනු ඇතැයි රටේ කවුරුත් විශ්වාස කළේ නැත. මුලදී හරියට කෙරුණු ගෝල්ෆේස් අරගලයේ අරමුණු අතරද ගෝඨාභය යවා රනිල් ගේන බවක් කියවුණේම නැත. හැබැයි අවසානයේ රනිල් ජනාධිපති විය. ජනාධිපති වී නිකම් හිටියේ නැත. එදා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවේදී රනිල් ඒ කළ දේවල් එකින් එක විස්තර කළේය. ඔක්කොම වරද්දාගෙන සිටි පොහොට්ටුවේ මන්ත්‍රීන්ට ඒ විස්තරය අහනකොට මුල මැද අග ඔක්කොම අමතක වීම ගැන පුදුම විය යුතු නැත.

වැඩේ කවුරු පටන් ගත්තත් අයි.එම්.එෆ්. එකේ ණය ලංකාවට ලබාගැනීමේ තරගයේ වීරයා රනිල් ජනාධිපතිවරයාය. ඒ බව විපක්ෂයේ සියලු නායකයන්ටද මන්ත්‍රීලාටද අද පිළිගැනීමට සිදුව තිබේ. යූ.එන්.පිය කඩාගෙන ගිහින් හදාගත් සජබ මන්ත්‍රීලාටද අද රනිල්ට ඒ ගැන හොඳ නොකියා ඉන්න බැරි තත්ත්වයක් උදා වී තිබේ. ඒ රනිල් වික්‍රමසිංහගේ දේශපාලනයේ හැටිය. ඒ දේශපාලනය නිසා අද නූල් මාරු වූ රූකඩ තත්ත්වයට වැටී සිටින්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන්ලා පමණක් නොවේ. විපක්ෂයේ සමහර මන්ත්‍රීලාත් අද ඉන්නේ නූල් පැටළුණු තත්ත්වයේය. හැබැයි අයි.එම්.එෆ්. කොන්දේසි ඉටු කරන්න යාමේදී ඒ පැටළුණු නූල් ලිහෙන්නත් බැරි නැත.

I ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00