2023 මාර්තු 26 වන ඉරිදා

ණය ගැනීම් කැප කිරීම් සහ අමාරුකම්

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 71

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලැබීම රට වැටී තිබෙන ආර්ථික අන්ධකාරයේ රිදී රේඛාවක් බව සැකයකින් තොරව සඳහන් කළ හැකිය. එය රිදී වලාවක් බවට පත් කරගත හැක්කේ සියලු දෙනාගේ කැපවීමෙන් හා මහන්සියෙන්ද ශක්තියෙන්ද පමණි. ඒ සඳහා ඉදිරි පියවර තැබීමේදී ආදර්ශය සැපයිය යුතු වන්නේ ආණ්ඩුවයි. සියලු පාර්ශ්වවල සහාය ලබාගැනීමද මෙහිදී වැදගත් වෙයි. එවැනි සහායක් ලබාගැනීම සඳහා ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීම මූලික සාධකය වන බව දැන සිටිමින් ආණ්ඩුව ක්‍රියා කළ යුතුය.

මෙම ණය පහසුකම යටතේ වසර හතරක කාලයක් තුළදී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3කට ආසන්න ආධාරයක් පිරිනැමෙයි. එහි පළමු වාරිකය වන ඩොලර් මිලියන 330 මේ වන විටද ශ්‍රී ලංකාවට ලැබී තිබේ. ණය සම්බන්ධය පාර්ලිමේන්තුව දැනුවත් කරමින් සිදු කළ පළමු නිල ප්‍රකාශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබුණේ ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබා දෙන පාර්ශ්වයන් වෙතින් තවත් ඩොලර් බිලියන 07ක් පමණ කඩිනම් ණය ආධාර බලාපොරොත්තු වන බවය.
ණය සහනය රටට හිමිවීමත් සමඟ ශ්‍රී ලංකාව තවදුරටත් බංකොළොත් රටක් නොවන බවට සහතිකයක් ලැබෙන බවත් වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ඉතා අඩු පොලියට ණය ආධාර ලබාගැනීමට පසුබිමක් සැකසෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි. එය විදෙස් ආයෝජකයන්ගේ ලංකාව ගැන විශ්වාසය තහවුරු වීමකි. එසේ වීම ශක්තිමත් නව ආර්ථිකයක් ගොඩනැංවීමට පදනම සකස් වීමකි.

රටේ ආර්ථිකයේ කොන්ද කැඩී තිබූ අවස්ථාවක මෙසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීම ජනතාව තුළ තම රට ගැන විශ්වාසය යළි ඇති කිරීමකි. රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළද විශ්වාසය වර්ධනය කිරීමට එය හේතු වෙයි. මේ සියලු කාරණා ධනාත්මක පැත්තට හරවා ගැනීම ආණ්ඩුව පැත්තෙන් මුහුණ දෙන ප්‍රබල අභියෝගයකි. එම හැරවුම් ලක්ෂය වනුයේ රටේ දුක් විඳින පොදු මහජනතාවයි. ජනතාවගේ සහයෝගය දිනාගැනීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් මේ කියන කාරණා ඒ ආකාරයටම ඉටුකර ගැනීම අර්බුදයකට යාම වළක්වාගත නොහැකි වනු ඇත. ජනාධිපතිවරයා සිය කතාවේදී ප්‍රකාශ කර තිබුණේ බහුතර ජනතාව විවිධ දුෂ්කරතා සහ පීඩනය මැද රට වෙනුවෙන් වගකීමක් ඇතිව සන්සුන්ව සහ ඉවසීමෙන් කටයුතු කළ බවය. එසේ කැපවීමෙන් කටයුතු කළ ජනතාවට තම ප්‍රණාමය පුද කරන බවද ජනාධිපතිවරයා කියා තිබිණි.

ඒ සියල්ල සත්‍ය වුවද ජනතාවගේ මේ කැපවීම, ඉවසීම සහ සන්සුන් බව සුන්වීමට මහ කාලයක් ගත නොවන බව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් දැන සිටිය යුතුය. මේ රට ආර්ථිකව බංකොළොත් කිරීමට දායක වූ පිරිසද මේ මැති ඇමැතින් අතර වෙති. කාලයක් තිස්සේ නිහඬව සිටි ඔවුන් ජනාධිපතිවරයා ක්‍රමානුකූලව දැඩි විශ්වාසයකින් යුතුව ක්‍රියා කරමින් අයි.එම්.එෆ්. ණය ලබාගැනීම සාර්ථක කරගත් පසුව අත පය දිගහරිමින් උගුරේ රුල් බුරුල් හරින බවද අසන්නට පෙනෙන්නට තිබේ. එම ණය ගැනීම තමන්ගේ ජයග්‍රහණයක් වශයෙන් හුවා දක්වමින් මවාපාමින් කටයුතු කරන මෙවැනි උන්දැලාගෙන් ප්‍රවේශම් නොවුණොත් ජනතාව යළිත් නොසන්සුන් වනු ඇත. හොරුන්, දූෂිතයන් සහ වංචනිකයන් පිළිබඳ කිසියම් අදහසක් ඇතිව ජනතාව ක්‍රියා කරන බැවින් ණයට ලැබෙන මුදලද හොරාකනු ඇති බවට ඔවුන් තුළ පොදු මතයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි. එසේ නොවන තැනට කටයුතු කළ හැක්කේද ආණ්ඩුවට පමණි.

අයි.එම්.එෆ්. ණය ලබාගැනීමේදී කොන්දේසි වශයෙන් ඉදිරිපත් වූ කරුණු යථාර්ථයක් කිරීමේදී වැඩිපුරම කැපවීම් කරන්නට සිදුව තිබෙන්නේ රටේ මාසික වැටුපෙන් ජීවත් වෙන ජනතාවට බව වසන් කළ නොහැක. ඔවුන් පාරට බැස උද්ඝෝෂණ පැවැත්වීමට විරෝධතා රුලි සංවිධානය කිරීමට හේතුව විපක්ෂ දේශපාලන පක්ෂවල බලපෑම හෝ වෘත්තීය සමිතිවල බලපෑම හෝ පමණක් නොවේ. විදුලි බිල ඉවසිය නොහැකි තරමට ඉහළ යාමත් ඍජු බදු හා වක්‍ර බදු ඉතා ඉහළ මට්ටමකින් නැංවීමත් ජනතාව දැඩිව පීඩනයට පත් කර තිබේ. රටේ ආර්ථිකය යළි නිසි මගට ගැනීමට කිසියම් සීමාවක් දක්වා ජනතාව ඉවසන නමුත් දිගින් දිගටම එවැනි පීඩනවලට හසුවීමට සිදුවුවහොත් ජනතාවගේ ඉවසීමේ සීමා පනින්නට හොඳටම ඉඩ තිබේ. ඒ නිසා මාසික වැටුප් ලබන ජනතාව එවැනි තැනකට තල්ලු නොකිරීමේ වගකීම ඇත්තේ විපක්ෂය අතේ නොව ආණ්ඩු පක්ෂ අතේය.

රජය අයි.එම්.එෆ්. ණය ලබාගැනීමට එකඟ වූ කොන්දේසි ඉදිරියටද ඉටු කිරීමට සිදුවනු ඇති බව යථාර්ථයයි. එම ඉටුකිරීම්වලදී ජනතාවගේ පැත්තෙන්ද සාධාරණය ඉටුවිය යුතුය. රජයේ සියලු මැති ඇමැතින් සුර සැප විඳිද්දී එසේම වංචා දූෂණ චෝදනා ඇති අයද නිරුපද්‍රිතව සිටියදී ජනතාවගෙන් පමණක් කැපවීම බලාපොරොත්තු වීම අසාධාරණය.

ජනාධිපතිවරයා සිය කතාව අවසන් කර තිබුණේ ආර්ථිකය නැංවීමේ කාරණයේදී අප සියලු දෙනා එකතු වී වැඩ කළ යුතු බවය. ආර්ථිකය ගොඩනැංවීම සඳහා අයි.එම්.එෆ්. එකඟතාව ක්‍රියාත්මක කිරීමට සහාය ලැබිය යුතු බවය. ඒ කාරණාවලට කිසිවකුටත් විරුද්ධ විය නොහැක. එසේම මේ කාරණාවලදී ආණ්ඩුවද උපරිම පාරදෘශ්‍යභාවයකින් ක්‍රියා කිරීම ඉතා වැදගත් බවද සඳහන් කළ යුතුය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00