2023 මාර්තු 19 වන ඉරිදා

අසූව සහ 2023

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 83

ජූලි මාසයට මේ රටේ දේශපාලන ඉතිහාසය තදින්ම ගැටගැසී තිබේ. වැඩවර්ජන ඉතිහාසයද ඒ ආකාරයෙන්ම සම්බන්ධය. ඒ සම්බන්ධය ඇතිවුණේ 1980 පැවති ඓතිහාසික මහා වැඩවර්ජනය හේතුවෙනි. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ රජයේ සේවකයන් වැඩිම සංඛ්‍යාවකට රස්සා අහිමි වූයේ ඒ වැඩවර්ජනයෙනි. එම සංඛ්‍යාව වාර්තා වූයේ 40,356ක් වශයෙනි. එසේම කාලයාගේ ඇවෑමෙන් එසේ රස්සා අහිමි වූ පිරිසෙන් 170ක් පමණ සියදිවි නසාගෙන තිබිණි. ඉතිහාසයේ ලොකුම වැඩවර්ජනය වශයෙන් සැලකුණත් එය වෘත්තීය සමිති සටන් අතරේ අසාර්ථකම සටන වශයෙන්ද සැලකෙයි.

අසූව දශකය ආරම්භ වෙන්නේ හයෙන් පහක බලයක් අතැතිව ආණ්ඩුව පිහිටුවූ ජේ.ආර්. ඊට පස්සේ විධායක ජනාධිපති වීමෙන්ද පසුව ගතවෙන තුන්වැනි අවුරුද්ද සම්පූර්ණ වෙද්දීය. '77 ජූලි 22 ආණ්ඩුව පිහිටුවූ ජේ.ආර්. ගේ බලය පිළිබඳ සිදුකෙරුණු අවතක්සේරුව හේතුවෙන් ඒ ආණ්ඩුවට තුන්වැනි අවුරුද්ද පිරුණු ජූලි මාසේ 15 වැනිදා වාමාංශික නායකයන් තීරණය කළේ රටේ සමස්ත රජයේ සේවකයන් පාරට බැස්සවීමටය. මේ තීන්දුව ගත් වෘත්තීය සමිති ඒකාබද්ධ රුස්වීමේදී වර්ජනය කළ යුතුද නැද්ද යන්න ඡන්දයකට යොමු කළ බවද එහිදී වැඩවර්ජනය කළ යුතු බවට තීරණය කෙරුණේ එක වැඩි ඡන්දයකින් බවද සඳහන් විය.

එහිදී ඉල්ලීම වී තිබුණේ දිනක වැටුප රුපියල් 10කින් වැඩි කොට මාසික වැටුපට රුපියල් 300ක් එකතු කරන ලෙසටය. ඉහළ නගින ජීවන වියදම දරාගත නොහැකි බවට චෝදනා කරමින් ඒ ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි. ඊට අමතරව ජීවන වියදම් දීමනාව එක ඒකකයකට රුපියල් 05කින් වැඩි කරන ලෙසට ද ඉල්ලීමක් විය.

වර්ජන තීන්දුව ගැනීමට පෙර සති කිහිපයක් තිස්සේ විවිධ රැස්වීම් පැවැති අතර වෘත්තීය සමිති 1024ක සහභාගිත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී වෘත්තීය සමිති කමිටු රුස්වීමක් පවත්වා තීරණය කළේ ඉල්ලීම් දිනාගැනීමේ එක් පියවරක් හැටියට ජූනි 05 වැනිදා දහවල් කෑම පැයේදී ජාතික විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තම ඉල්ලීම් දිනාගත යුතු බවටය.

ඒ වෙලාවේ තමන්ගේ බලය පිළිබඳ හොඳ වැටහීමක් තිබූ යූ.එන්.පී. ආණ්ඩුව විරෝධතාවලට විරෝධතාවකින්ම මුහුණ දීමට තීන්දු කළේය. ඒ වනවිට ආණ්ඩුවේ වෘත්තීය සමිතිය වූ ජාතික සේවක සංගමය (ජේ.එස්.එස්) ඉතා බලවත්ව සිටි අතර ඒ සංගමය ආණ්ඩුවට සම්බන්ධ රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන කොටස්කරු විය. ආණ්ඩුව කළේ ජේ.එස්.එස්. එක යොදවා ජූනි 05 වැනිදා රජයට සහයෝගිතා දිනයක් ප්‍රකාශ කිරීමය. එහි යටි අරමුණ වී තිබුණේ &දෙන්නම් බැටේ'' වැඩක් දීමය.

කොහොම වුණත් එදා ලක්ෂ ගාණක රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවක පිරිසක් කෑම පැයේ උද්ඝෝෂණ ව්‍යාපාරයේ නිරතව සිටියේ ආණ්ඩුවේ සහයෝගිතා වැඩේ ගණන් නොගමිනි. ඔවුන් එසේ රජයට විරෝධය පළ කරද්දී රජයට අයත් වෘත්තීය සමිති සාමාජිකයන් කළේ රජයට සහයෝගිතාව පළ කරමින් උද්ඝෝෂණය කිරීමයි. එදා කොළඹ නගරයේ දහවල් වනවිට උණුසුම් තත්ත්වයක් දකින්නට තිබූ අතර එක් විරෝධතාකරුවෙක් මරණයට පත්වූයේ රජයට සහාය දැක්වූ පිරිසක් එල්ල කළ ගල් ප්‍රහාරයකිනි.

තත්ත්වය මෙසේ වෙද්දී රටේ තත්ත්වය තවත් උණුසුම් විය. මේ නිසා ජූලි 14 වැනිදා වනවිට තම වැටුප් වැඩි කරන ඉල්ලීම ඉටු නොවුණොත් 15 වැනිදා සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට යන බව ප්‍රකාශ කෙරිණි. 14 වැනිදා සවස වන විටම දුම්රිය සේවකයන් වැඩවර්ජනය ඇරඹුවේ ඒ වනවිට ඔවුන්ගේ වෘත්තීය සමිති නිලධාරින් පිරිසක් වැඩ තහනමට ලක් කිරීම නිසාය.

15 වැනිදා වැඩවර්ජනය ඇරඹීමත් සමඟ 16 වැනිදා ආණ්ඩුවේ කැබිනට් එක රුස්වී තීරණය කළේ වැඩවර්ජනය කළ පිරිස සේවය අතහැර ගියා සේ සලකන බවය. එදිනම රාත්‍රියේ සිට හදිසි නීතිය ප්‍රකාශයට පත්කර සියලු වැඩවර්ජිත සේවකයන් ඉවත් කළා පමණක් නොව ඇබෑර්තු සඳහා යූ.එන්.පී. මන්ත්‍රීවරුන්ගේ ලිස්ට්වලට අලුතින් සේවකයන් බඳවා ගැනීමද ආරම්භ කළේය. රුකියා ලබාගැනීම සඳහා දිගු පෝලිම් දක්නට තිබුණි. වැඩවර්ජනය කළ අයගේ ජූලි මාසයේ වැටුප් ගෙවීමද අත්හිටුවිය. වැඩවර්ජනය කිරීම ගැන සමාව ඉල්ලූ පිරිසකට පමණක් ආපසු රැකියා ලැබුණි. ඒ ලැබුණේද වරින් වරය.

යූ.එන්.පී. ආණ්ඩුව ලංකාවේ ලොකුම වැඩවර්ජනයේ කොන්ද කඩා දැම්මේ ඒ ආකාරයටය. එම වැඩවර්ජනය මුලදී රටටම දැනුණත් රාජ්‍ය අංශයේ රජයට සහාය දැක්වූ පිරිස අධික වීමත් පෞද්ගලික අංශයේ වර්ධනය හේතුවෙන් රැකියා අවස්ථා බහුල වී තිබීමත් රට රුකියා දොර විවර වීමත් නිසා වැඩවර්ජනය පිළිබඳ මතකය අවසානයේ මේ රටේ වාමාංශික දේශපාලන පක්ෂ ඇතුළේ පමණක් රුඳුණේය.

එහෙම වුණත් රටේ දේශපාලනය පිළිබඳ අවබෝධයකින් සිටි පිරිස් දිගටම පැවසුවේ මේ සිද්ධිය කවදා හෝ රටේ කොතනකින් හෝ පුපුරා එළියට එනු ඇති බවය. ^87, ^88 වනවිට ඒ ප්‍රතිඵලය පෙනුණි. ඒ අවස්ථාවේ රටම දරුණු ත්‍රස්තවාදයකට ගොදුරු කරමින් දකුණින් ඇරඹි තරුණ අරගලයේ එක් මූලික හේතුවක් වුණේ ආණ්ඩුව දරුණු ලෙස වැඩවර්ජනය මර්දනය කිරීමයි. අසූවේ වර්ජකයන්ගේ තරුණ දූ දරුවන්ද මේ ත්‍රස්තවාදී තරුණ පිරිස් අතර සිටි බව ඒ ගැන බැලූ කමිටු වාර්තා කියා තිබිණි. එම තරුණ අරගලය රටට විශාල විනාශයක් ගෙන දුන්නේය.

එදා වැඩවර්ජනයත් එය මර්දනය කළ ආකාරයත් අදට ගලපා ගත්තොත් මැවෙන්නේ ඊට වෙනස් කතාවකි. අද රට තිබෙන්නේ බලයට පත්වූ ආණ්ඩුවක් මහජනතාවගේ නැගිටීමකින් වෙනස් වූ පසුව පාලනයක් යටතේය. ජනාධිපතිවරයා පත්වුණේ එහි එක් ප්‍රතිඵලයක් හැටියටය. මේ නිසා මේ වෙලාවේ වැඩවර්ජනයක් එදා මර්දනය කළ ආකාරයට කළ හැකි යැයි සිතීම පවා මුලාවකි. එදා ගැටලුව ජීවන වියදම ඉහළ යාමය. අද ගැටලුව ඊට වඩා සංකීර්ණය. ව්‍යාකූලය. අද තිබෙන්නේ වාමාංශික වෘත්තීය සමිති විසින් මෙහෙයවන වැඩවර්ජන නොවේ. මේ වර්ජන පිටුපස අසූවේ වගේ දේශපාලන පක්ෂ නායකයන් ප්‍රසිද්ධියේ පෙනී ඉන්නේද නැත.

අද වැඩවර්ජන සහ උද්ඝෝෂණ මෙහෙයවන්නේ වෘත්තිකයන්ය. එම වැඩවර්ජනවලට හේතුව ජීවන වියදම නොවේ. රටේ ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් හටගත් බරපතළ ගැටලුය. එම ගැටලුවලට විසඳුම් වශයෙන් රජය යෝජනා කරන විශාල ප්‍රතිශතයකින් බදු ඉහළ දැමීම, විදුලි බිල දෙවාරයකදී ඉතා විශාල ලෙස ඉහළ දැමීම වැනි රටේ සියලු ජනකොටස් ආර්ථික වශයෙන් දැඩි ලෙස පීඩනයට පත්වීම වැඩවර්ජනයකට රටේ වැඩ කරන බහුතර පිරිසක් තල්ලු කර තිබේ. අසූවේ රට ඇතුළේ සියලු දෙනාගේ සහාය වර්ජකයන්ට ලැබුණේ නැත. එහෙත් අද සියලු දෙනාටම බලපාන පීඩනය හේතුවෙන් වැඩවර්ජනවලට ජනතාවගේ සහායද ලැබෙන බව පෙනී යයි. ඊට හොඳම උදාහරණයක් වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයයි.

වෙනදා වෛද්‍යවරුන්ගේ වැඩවර්ජන හේතුවෙන් අසරණ වන රෝගී ජනතාව දොස් පවරන්නේ වෛද්‍යවරුන්ටය. සෞඛ්‍ය සේවයේ නිලධාරීන්ටය. එහෙත් අද මේ බොහෝ දෙනා දොස් පවරන්නේ ආණ්ඩුවටය. ඔවුන් කියන්නේ ආණ්ඩුව ඇතිකළ ප්‍රශ්න නිසා තමන් දුක් විඳින බවය.

මෙහෙම තත්ත්වයක් තිබියදී අසූවේදී ආණ්ඩුව කළ ආකාරයට 2023 වැඩවර්ජන කඩා දැමීම පහසු නැත. වර්ජනය කරන අයගේ රස්සා අහිමි කරනවා කියා හෝ ඔවුන්ගේ දේපළ අහිමි කරනවා කියා හෝ තර්ජනය කිරීමෙන් පළක් නැත. එදා ජේ.ආර්. ගේ ආණ්ඩුව එහෙම මර්දනයක් කළේ ආණ්ඩුවේ ජනප්‍රියකම ඉහළම තත්ත්වයේ තිබියදීය. විපක්ෂය බින්දුවට බැහැලා තිබියදීය.

අසූවයි 2023 යි එක මිටට ගෙන මේ වැඩවර්ජනය මර්දනය කිරීම ආණ්ඩුවට පහසු වන්නේ නැත. මේ වනවිට රටේ විපක්ෂය බැලූ බැල්මට ඉන්නේ ප්‍රබල තත්ත්වයකිනි. ආණ්ඩුවේ ජනප්‍රියකම මැන බැලීමට නම් පුංචි ඡන්දය හෝ පැවැත්විය යුතුය. එහෙත් ආණ්ඩුව එයට සූදානමක් නැත. එහෙම නම් වඩාත් සුදුසු වන්නේ වැඩවර්ජනය කරන කණ්ඩායම් සමඟ ආණ්ඩුව සම්මුතියකට යාමය. එය ප්‍රමාද වන තරමට ආණ්ඩුවට ප්‍රශ්න වැඩිවනු ඇත. රටටද ප්‍රශ්න ඉවරක් නැතිවනු ඇත.

 ශශීන්ද්‍ර