2023 මාර්තු 19 වන ඉරිදා

රැල්ලක් තිබුණට ජවිපෙට බලය ගන්න බෑ

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 121

එස්.බී. දිසානායක - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී

♦ එදා පොලිසිය පස්ස ගැහැව්වේ ගෝඨාභය ජනාධිපතිතුමා නිසයි
♦ ශක්තිමත් කැබිනට් එකක් හදාගන්න එක ජනපතිතුමාගේ වගකීමක්
♦ අරගලකාරයෝ ගෝල්ෆේස් එක වැසිකිළියක් කළා
♦ ජනාධිපතිතුමාට ඕනෑම අපරාධකාරයෙක් මිනීමරුවෙක් නිදහස් කරන්න ව්‍යවස්ථාවෙන් බලය තිබෙනවා
♦ ශවේන්ද්‍ර සිල්වා යුතුකම ඉෂ්ඨ කළේ නෑ
♦ සරසවි ඇතුළේ ශිෂ්‍ය කල්ලි පාලනය කළ යුතුයි
♦ මේ වගේ වැඩවර්ජන කරන්න දෙන්න හොඳ නෑ
♦ රනිල් මහත්තයා තෝරා ගත්තේ එතුමාට තිබෙන අවබෝධය නිසා

අපි කතාව සුබ ආරංචියකින් පටන් ගමු. කවද්ද ඇමැති ධූරයේ දිවුරුම් දෙන්නෙ?

දන්නෙ නෑ. අමාත්‍ය ධූර කිහිපයක් අපේ පොදුජන පෙරමුණ පක්ෂයෙන් යෝජනා කරලා තියෙනවා ජනාධිපතිවරයාට. ජනාධිපතිතුමා ඒවාට කැමැත්ත පළ කරලා තියෙනවා. හැබැයි කවද්ද ඒ කැබිනට් ධූර ලබා දෙන්නෙ කියලා මම දන්නෙ නෑ. 

ඔබගේ පක්ෂයෙන් මේ වෙනකොට අමාත්‍ය ධූර කීයක් යෝජනා කරලා තියෙනවද?

මම ඒක හරියටම දන්නෙ නෑ. දහයක් දොළහක් වගේ.

දැනටත් පොදුජන පක්ෂයේ පිරිසක් ආණ්ඩුව නියෝජනය කරනවා. ඒ අයට අමතරවද ඔය දහය යෝජනා කරලා තියෙන්නෙ. නැත්නම් ඒ අයත් එක්කමද?

ඔය තාවකාලිකව පත් කරනු කැබිනට් එකක්නෙ. සමහර අයට ලැබෙන්නත් පුළුවන්. සමහර අයට නැතිවෙන්නත් පුළුවන්. 

ඒ කියන්නෙ අලුත් කැබිනට් මණ්ඩලයක් පත් වෙනවා?

මම හිතන්නෙ ජනාධිපතිතුමාට. සුදුසුකම් බලලා, අධ්‍යාපනය එහෙම බලලා, අත්දැකීම් බලලා හරියට ශක්තිමත් කැබිනට්ටුවක් හදාගන්න එක එතුමාගේ වගකීමක්.

ඔබ දේශපාලන ඉතිහාසයක් තියෙන කෙනෙක්. ඔබට කැබිනට් මණ්ඩලය ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ?

මට අදහසක් තියෙනවා. මම ආණ්ඩුවෙත් ඉන්න නිසා පොදුජන පෙරමුණෙත් ඉන්න නිසා මගේ පෞද්ගලික මතය මම මේ වෙලාවෙ කියන්නෙ නෑ. 

මම තව සරල කරලා ඇහුවොත් කැබිනට් මණ්ඩලය ගැන පොසිටිව් අදහසක්ද තියෙන්නෙ, නෙගටිව් අදහසක්ද?

පොසිටිව් නම් නෙමෙයි නෙගටිව්. 

ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ ධූරයේ අවසානයේ තමයි ඔය අද ඉන්න කැබිනට් මණ්ඩලය එදා පත් වුණේ. ඒ කැබිනට් මණ්ඩලයත් තියෙද්දි තමයි එතුමට ගෙදර යන්න වුණේ. එතුමට ගෙදර යන්න වුණු හේතුව ඔය කැබිනට් මණ්ඩලයද?

නෑ නෑ එහෙම නම් නෙමෙයි. අසීමිත ජනතා බලයක් එක්ක පත්වුණු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ ආණ්ඩුව ඉතාම ශක්තිමත්. මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙන් බලාපොරොත්තු වුණේ ඩෙන්ෂියාවෝ පිං වගේ චරිතයක්. ලී ක්වාන් යූ වගේ චරිතයක්. මම බලාපොරොත්තු වුණේ රටට ආදරය කරන දේශප්‍රේමී ආඥාදායකයෙක්. නමුත් එහෙම වුණේ නෑ. නමුත් එතුමා අංශක 180ක් ආපස්සට නැමුණා. හැමෝටම ඇහුම්කන් දීලා වැඩ කරන තැනට පත් වුණා. එහෙම නැතිවෙයිද ගෝල්ෆේස් එකට ආපු තරුණයෝ තමන්ගේ කාර්යාලයට යන ප්‍රධාන දොරටුව වහගත්තාම ඒ අයව එළවන්නෙ නැතිව හිටියම. එතුමා කරබාගෙන හිටියා. ඒ නිසා ඒ තත්ත්වයත් එක්ක තමයි එයාට යන්න වුණේ. ඒ සම්බන්ධයෙන් පුදුම වෙන්න දෙයක් නෑ. වරාය නගරය වගේ ව්‍යාපෘතියක් ආවෙම ගෝල්ෆේස් එක, මුහුද සහ වරාය නිසයි. ඒත් ආපු අරගලකාරයෝ ගෝල්ෆේස් එක වැසිකිළියක් කරද්දි ඒවට සද්ද නැතිව හිටියනෙ. ගෝල්ෆේස් එක තනිකර ගණිකා මඩමක් වුණානෙ. ඒ නිසා ආයෝජකයෝ පවා එන්නෙ නැතිව අත්හැරියා. 

ඔබලා දිගින් දිගටම මේ අරගලය පහත් මට්ටමකට දානවා. ඇත්තටම මේ අරගලය මිනිස්සුන්ගෙ තිබුණු පීඩනයත් එපා කරපු දේශපාලනයත් නිසා නෙමෙයිද ඇතිවුණේ. ඒක සාධාරණ නැද්ද?

මට නම් ඒකෙ පෙනෙන කිසිම සාධාරණයක් නැහැ. ඔතන අවසාන කාලයේ හිටියේ එල්.ටී.ටී.ඊ එකෙන් ඇවිල්ලා පදිංචි වෙලා. අන්තවාදී මුස්ලිම් සංවිධාන ඇවිල්ලා පදිංචි වෙලා හිටියෙ. අන්තවාදී කතෝලික සංවිධාන ඇවිල්ලා හිටියෙ. චීනය සහ ලංකාව අතර තියෙන මිත්‍රත්වය නැති කරන්න පකිස්ථානයට කළා වගේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයේ එන්.ජී.ඕ ඔතන පදිංචි වෙලා හිටියා. ඒ අයට ඕනෙ අපේ රට වට්ටන්න තවත්. 

දැන් ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ ආරක්ෂක අංශයත් එක්ක ළඟින්ම වැඩ කරපු ආරක්ෂක ලේකම්වරයෙක්. යුද්ධය දිනපු එක නායකයෙක්. ඔහුව බලයට ගෙනාවෙම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් දෙන්න. ඉතින් මෙච්චර දෙයක් වෙනකොටවත් ආරක්ෂක අංශ මොනවද ඔහුට කිව්වෙ?

දැන් බලන්න පසුගිය කාලෙ ඔය ගැන සොයා බලන්න කමිටුවක් පත් කළා හිටපු හමුදා නිලධාරීන් තුන් දෙනෙක්ගෙන්. ඒ කට්ටිය කියන්නෙ හමුදාපති එයාගේ ඩියුටිය ඉෂ්ඨ කළේ නෑ කියලා. 

ඔබලත් හිතනවද එහෙම?

අපටත් හිතෙනවා එයාගේ රාජකාරිය ඉෂ්ඨ කළේ නෑ කියලා. ශවේන්ද්‍ර සිල්වාටත් හීනයක් තිබුණද දන්නෙ නෑ ජනාධිපති වෙන්න. ඒ මොන දේ වුණත් ශවේන්ද්‍ර සිල්වාගේ යුතුකම ඉෂ්ඨ කළේ නෑ කියලා නම් කියන්න ඕනෙ. 

එතකොට පොලිසිය වැරදි නැද්ද?

පොලිසියට දොස් කියන්න බෑ. පොලිසිය පස්ස ගහන හේතුව ගෝඨාභය ජනාධිපතිතුමා. 

ඒ මොකද ඒ?

රඹුක්කන තෙල් සිද්ධිය වෙලාවෙදි එතනට ආපු මැරයෝ එළව එළවා පොලිසියට පහර දුන්නා. පොලිස් නිලධාරින් දෙන්නෙක් ගල් ප්‍රහාර දෙකකින් බිමට වැටෙනවා. ඒ වෙලාවෙ එස්.එස්.පී කියනවා වෙඩි තියන්න කියලා. පොලිස් නිලධාරින් වෙඩි තියන්නෙ බිමට. බිමට තිබ්බ වෙඩිල්ලක් තමයි ඔය ගිහින් බඩේ වැදුණා කියන්නෙ. 

ඒ කියන්නෙ ඒ පොලිස් නිලධාරින් නිවැරදියි?

මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ගිහිල්ලා කිව්වා මේ දෙන්නා උසාවි දාන්න එපා කියලා. නීතිපති දෙපාර්තමේන්තුව හරහා සොලිසිටර් කෙනෙක් යවලා මේ අය වැරදි නෑ කියලා කියන්න කියලා. ඒ අය බලය අවම විදිහට පාවිච්චි කළේ කියලා කියන්න කිව්වා. ඒත් අන්තිමේ ඒ දෙන්නා රිමාන්ඩ් වුණා. නීතිපති දෙපාර්තමේන්තුවෙ අය ගිහිල්ලා කිව්වා මැරීමේ චේතනාවෙන් පොලිස් අධිකාරිවරයා නියෝග දුන්නා කියලා. නීතිපති දෙපාර්තමේන්තුව පෙනී ඉන්න ඕනෙ රජයේ නිලධාරින් වෙනුවෙන්. ඒත් ඒක වුණේ නෑ. රිමාන්ඩ් වුණාමත් මම කතා කරලා කිව්වා ජනාධිපතිතුමාට ඒ දෙන්නට සමාවක් දෙන්න කියලා. එතකොට ඇහුවා එහෙම කරන්න පුළුවන්ද කියලා. එතුමා ඒක දැනගෙන හිටියෙ නෑ. මම කිව්වා පුළුවන් කියලා. 

එහෙම නඩුව යන්නත් කලින් කරන්න පුළුවන්ද?

ඔව්. මම එහෙම කිව්වෙ නුවරඑළියෙදි සිවලිංගමුයි සතාසිවමුයි ගහගෙන ඒ දෙන්නව රිමාන්ඩ් කළා. රිමාන්ඩ් කරන්න අරගෙන යන අතරමගදි එවකට ජනාධිපති සමාව දුන්නා. අන්තිමට මගදි බන්ධනාගාර බස් එකෙන් බස්සලා මගේ වාහනයට දාගෙන ගෙදර ආවා. දැන් ඔය දුමින්ද නිදහස් කරපුවාම ඒකට අධිකරණය වාරණයක් දාපුවාම එතුමට තිබුණා ආයෙම නිදහස් කරන්න. එහෙනම් දුමින්ද අද එළියෙ. 

ඔහොම කියනකොට රටේ නීතියක් වැඩක් නෑනෙ?

ජනාධිපතිතුමාට ඉතින් නීතියෙන් ඒ බලය දීලා තියෙනවනෙ. ජනාධිපතිතුමාට ඕනෑම අපරාධකාරයෙක් මිනීමරුවෙක් ඕනෑම වෙලාවක නිදහස් කරන්න පුළුවන්. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තියෙන බලයක්නෙ. නීතියට ඒක වැරුද්දක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම බලයක් තියෙනවනෙ.

ඔබටත් අත්දැකීමක් තියෙනවනෙ?

ඔව්. අවුරුදු එකහමාරක් හිරේ ඉඳලා එළියට ආපු කෙනෙක්. කොහොම හරි ඔය එදා රඹුක්කන සිද්ධියෙන් පොලිසිය කුරුවල් වුණාට පස්සෙ මන්ත්‍රීවරුන්ගෙ නිවාස 71ක් ගිනි තියන තැනට ආවා. හැබැයි මම පොලිසියට දොස් කියන්නෙ නෑ. හැබැයි ගෝඨාභය ජනාධිපතිතුමා හමුදාවට කතා කරලා කිව්වා ගෙවල් ආරක්ෂා කරන්න යන්න කියලා. වෙඩි තියන්නත් කිව්වා. ඒත් වුණේ නෑ. තව පොඩ්ඩෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු අරලියගහ මන්දිරයේ හිටපු කට්ටිය එළියට ඇදලා ගන්න ගියේ. 

රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනාධිපති හැටියට තෝරාගන්නෙම අරගලයේ ඇරියස් එකට රිටන් එකක් දෙන්න නේද?

නෑ එහෙම නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වුණාට පස්සෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අසරණ වුණා. එතුමා බැලුවා දේශපාලනයේ නිරත නොවන කෙනෙක් අගමැති පුටුවට ගේන්න. මම ඒ වෙලාවෙ යෝජනා කළා මහාචාර්ය ගාමිණී සමරනායක ගේන්න කියලා. ඒ අතර විපක්ෂයේ සියලුම නායකයන්ටත් එන්න කිව්වා. හැබැයි කවුරුත් භාරගත්තෙ නෑ. නමුත් ජාතික ලැයිස්තුවෙන් ආපු තනි කෙනෙක් වුණු රනිල් වික්‍රමසිංහ මහත්තයව තෝරාගත්තෙම එතුමට තිබුණු අවබෝධය නිසා. එතුමට තිබුණු අත්දැකීම්, 88 89 කාලෙ භීෂණයට මුහුණ දීම, ඒ සම්බන්ධයෙන් ඔහුට හොඳ අත්දැකීමක් තිබුණා. අපිත් ඒක වාසියක් හැටියට දැක්කා. මොකද ඔහු තනි කෙනෙක්. 

ඒ වුණාට හිතේ තිබුණනෙ අරගලය මර්දනය කරන්න ඕනෙ කියලා?

ඒක ඉතින් මගේ හැමතිස්සෙම හිතේ තිබුණනෙ. ඒක විතරක් නෙමෙයි, ඔය පහුගිය දවස් ටිකේ තිබුණු වර්ජනය පවා මම කියන්නෙ කරන්න දෙන්න හොඳ නෑ. මොකද මේ වගේ වෙලාවක එවැනි දේවල් අනුමත කරන්න බෑ. සිරිමාවෝ මැතිනියගෙ කාලෙ වෛද්‍යවරු වර්ජනය කරන්න ගිහිල්ලා එතුමිය පාර්ලිමේන්තුව අමතලා කිව්වා එහෙම වුණොත් දේපළ රාජසන්තක කරලා රටෙන් පිටවෙන්න දෙන්නෙත් නෑ කියලා. 

ඔබ බලාපොරොත්තු වෙන්නෙත් එවැනි දෙයක්ද රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන්?

මම නම් බලාපොරොත්තු වෙන්නෙ එහෙම දෙයක්. 

අපි දන්නවා ඔබට දෙන්න යන්නෙ උසස් අධ්‍යාපන ඇමැතිකම කියලා. ඒක ඇත්තද?

නෑ මම එහෙම කියන්න දන්නෙ නෑ. 

අන්තරේ ඔබට සමීප කණ්ඩායමක්. අද අන්තරේ ක්‍රියාකාරීත්වය ගැන ඔබේ අදහස මොකක්ද?

අද අන්තරේ කියලා එකක් නෑ. 83 දි තහනම් කිරීමත් එක්ක ජවිපෙ ඉතාම සූක්ෂම ලෙස කණ්ඩායමක් හදාගත්තා. ඊට පස්සෙ අපි 94 ඇවිල්ලා ඒ ශිෂ්‍යයන්ට තමන්ට කැමැති විදිහට එළිපිට ක්‍රියාත්මක වෙන්න අවසර දුන්නා. හැබැයි අද වෙනකම් විශ්වවිද්‍යාලය ඡන්දයක් තියන්න දීලා නෑ. ජවිපෙත් අද වෙද්දි පෙරටුගාමිත් ඡන්දයක් කරන්න දෙන්නෙ නෑ. ජපුරේ සමන්ත මැරුවෙ ඇයි? ජවිපෙට විරුද්ධව නොමිනේෂන් දුන්න නිසා. අද ජේවීපී පක්ෂෙන්ම පෙරටුගාමී අය ඉස්සරහට ඇවිල්ලා අද ජවිපෙට නොමිනේෂන් දෙන්න දෙන්නෙ නෑ ජපුරෙන්. ඡන්දයක් නෑ. 

ඒ නිසා අන්තරය මර්දනය කරන්න ඕනෙ කියලා හිතනවා නේද?

මර්දනය කරන්න හිතන්නෙ නෑ. ඒත් පාලනය කරන්න ඕනෙ. මොකද ගම්වල අහිංසක දරුවෝ තමයි විශ්වවිද්‍යාලයට එන්නෙ. ඒ ඇවිල්ලා මොළ හෝදන්නෙ ජවිපෙ. එහෙම නැත්නම් පෙරටුගාමියො. ඒ දරුවො පව්. ඒ නිසා මම කියන්නෙ මේක රජයක් හැටියට පාලනය කරන්න ඕනෙ. නැත්නම් වෙන්නෙ මහ විනාශයක්. මම එක දෙයක් කියන්නම්. වැඩි කල් නෑ ජවිපෙ සහ පෙරටුගාමීන් කැම්පස් ඇතුළෙ මරාගන්න කාලෙ. 88 89 ත් ජවිපෙ ඉස්සෙල්ලාම මැරුවෙ ජවිපෙ අත්හැරලා ගිය අය. ඒ නිසා මේ ගැටුමෙත් එහෙම වෙනවා. මම කියන්නෙ මේ ගැටුම අවසාන මොහොතේ එළියට ඇවිල්ලා ලොකු ප්‍රශ්නෙකට යනවා. ඒ නිසා මේක අපි පාලනය කරන්න ඕනෙ. මොකද මේ දරුවෝ අපරාධ කල්ලි නෙමෙයි. නැත්නම් අධ්‍යාපනයෙන් නැතුව නිකම් විනාශ වෙනවා. මෙහෙම වෙන එකට වගකියන්න ඕනෙ අපි. මොකද මේවා හොයන්නෙ බලන්නෙ නැතිකමට. 

ඡන්දෙ තියන්න අදහසක් නැද්ද?

ඡන්දයක් තියෙනවා නම් ඡන්දෙට මුහුණ දෙන්න අපි ලෑස්තියි. අපි ගමින් ගමට යනකොට අපිට හොඳ ප්‍රතිචාර තියෙනවා. මොකද අපි වරදක් කරලා නෑ. ගමේ මිනිස්සු හරි ආදරෙන් අපිව පිළිගන්නෙ. 

හැබැයි විපක්ෂය කියන්නෙ ගම ඔබලට කැමැති නෑ කියලා?

ඒ විපක්ෂයෙන්නෙ කියන්නෙ. අපි ගියාම ගමේ මිනිස්සු අපිට බදාගන්නවා. අපිට හරි ආදරෙයි මිනිස්සු. පොහොට්ටුවෙ ග්‍රාමීය පදනම වැටිලා නෑ. ඉන්නෙ ටිකක් ලැජ්ජාවෙන්.

හැබැයි ජවිපෙ රැල්ලත් එක්ක අමාරුයි නේද?

ඔව් රැල්ලක් තියෙනවා. රැල්ලක් ආවට වැඩක් නෑ. ඒ අයට බලය ගන්න බෑ. චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙත් ආවෙ අහුරක්. කෝ ඊට පස්සෙ නෑනෙ. ඒ නිසා ඕවා සාමාන්‍ය දේවල්. රුලි එනවා යනවා. මේ පාරත් තුන්දෙනා හතරදෙනා වෙයි. 

I ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00