2023 මාර්තු 05 වන ඉරිදා

රුපියල ශක්තිමත් වීම හොඳයි... හැබැයි...

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 196

කාලයක් තිස්සේ චොර වී චප්ප වී කිච වී තිබූ රුපියල යන්තමින් හිස ඔසවන ලකුණු පහළ වෙමින් තිබේ. පල්ලම් බහිමින් තිබූ තාලයට අනුව නම් ලංකාවේ රුපියල අමෙරිකානු ඩොලරය හමුවේ ළඟදීම වාෂ්ප වීමට හොඳටම ඉඩ තිබිණි. එහෙත් යාන්තමින් ඒ තත්ත්ව වැළකී පල්ලම් බැසීම නැවතී මාස කිහිපයකට පසු අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ලංකාවේ රුපියල පසුගිය දින කිහිපයේම ඉහළ යාමක් පෙන්නුම් කිරීම යහපතකි. සැනසුම් සුසුමක් හෙළීමට හේතුවකි.

පසුගිය බ්‍රහස්පතින්දා (02) ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කෙරුණු විනිමය අනුපාතිකයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 343.97ක් වශයෙන් ද විකිණුම් මිල රුපියල් 356.73ක් වශයෙන් ද සඳහන් විය. එය පෙර දිනට සාපේක්ෂව ද ඉහළ යාමකි. පෙර දිනයේ (01) එම අගයන් 351.72 සහ 362.95ක් ලෙස සටහන් වී තිබිණි. ඒ අනුව රුපියල් යම් ප්‍රමාණයකට ශක්තිමත් වෙමින් තිබෙන බව පැහැදිලිය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබූ එන්.ඩී.බී. සෙකියුරිටීස් ආයතනය අනාවැකියක් පළ කරමින් නුදුරු කාලසීමාව තුළ රුපියල තවදුරටත් ශක්තිමත් වනු ඇති බව සඳහන් කර තිබිණි. මෑත කාලීනව දක්නට තිබූ රුපියලේ අගය ඉහළ යාමට අනුව එම අනාවැකිය පළ විය. ඔවුන්ගේ සමීක්ෂණ වාර්තාවක් උපුටා දක්වන ඩේලි එෆ්.ටී. පුවත්පත පෙබරවාරි 23 වැනිදා සිට 0.9% කින් රුපියල වර්ධනය වී ඇතැයි සඳහන් කර තිබිණි. එයට හේතු විශ්ලේෂණය කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ අන්තර් බැංකු විදේශ විනිමය වෙළෙඳපොළේ දෛනික පිරිවැටුම මේ වන විට ඩොලර් මිලියන 42ක සාමාන්‍ය අගයක් ගන්නා බවය. මේ රටේ ආර්ථික අර්බුදය එළියට පැන්න අවස්ථාව වූ පසුගිය 2022 වසරේ මැයි - ජූනි කාලසීමාවේ එම අගය ඩොලර් මිලියන 8 – 10ක් පමණක් විය. 2018 පෙබරවාරියේදී එය ඩොලර් මිලියන 50ක තත්ත්වයේ තිබූ බවද සඳහන්ය.

රුපියල ශක්තිමත් වීම රටේ ගිලෙමින් තිබූ ආර්ථිකයේ යහපත් හැරවුමක් පෙන්නුම් කරයි. එය මේ රටේ අපනයන සහ ආයෝජන ක්ෂේත්‍රවල බලාපොරොත්තු ඉහළ නැංවීමකි. දැනට පෙනෙන්නට තිබෙන පරිදි විදෙස් රැකියාලාභින්ගෙන් ලැබෙන ඩොලර් ද සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමෙන් ගලා එන ඩොලර් ද රුපියල් ශක්තිමත් වීමට හේතු වශයෙන් දැක්වෙයි. අයි.එම්.එෆ්. ණය සහනයේ ප්‍රථම කොටස ද ඉදිරි කාලසීමාව තුළදී ලැබීමට නියමිතව තිබීමද මේ තත්ත්වය තවදුරටත් ඉහළ යාමට ප්‍රවේශයක් වනු ඇත. එය නියත වශයෙන්ම ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ නැංවීමකි. එම විශ්වාසය තවදුරටත් වර්ධනය කර ගැනීම රජයේ වගකීමය.

ශ්‍රී ලංකාව ඇතුළු දැඩි ලෙස ණය බරින් පීඩිත රාජ්‍යයන් වෙත සහාය වීම සඳහා වන බහු පාර්ශ්වික ප්‍රයත්නයකට ඵලදායී අයුරින් දායකත්වය ලබා දීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට චීනය පසුගියදා දැනුම් දී තිබිණි. එය ශ්‍රී ලංකාවට ණය ආධාර පහසුකම ලබාගැනීමේ අවස්ථාව වැඩි කිරීමකි. ඒ පිළිබඳ අවධානයෙන් පසුවීමද අවශ්‍යය.

මෙරටට චීනයෙන් පැමිණි සංචාරකයන් කොවිඩ් වසංගතය සමඟ සහමුලින් නැවතීමද රටේ ඩොලර් සංචිතය හිඳී යාමට ප්‍රබල හේතුවක් වී තිබිණි. කොවිඩ් කාලයට පෙර මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් විශාල ප්‍රතිශතයකට හිමිකම් කිව්වේ චීන ජාතිකයන්ය. පසුගිය බ්‍රහස්පතින්දා (02) චීනයේ සංචාරකයන් රැගත් ගුවන් යානයක් කටුනායකට පැමිණියේ යළි චීන සංචාරකයන් පිළිබඳ බලාපොරොත්තු ඉහළ නංවමිනි. ඉදිරි කාලය තුළදී චීනයෙන් පැමිණෙන සංචාරකයන් රැගත් ගුවන් යානා වාර සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යනු ඇති බවට සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පුරෝකතනය කර තිබිණි. එසේ වුවහොත් ලක්ෂයක් ඉක්මවා ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමෙන් පෙබරවාරි මාසය තුළදී පිහිටුවූ වාර්තාව මාර්තු මාසයේදී යළිත් වරක් අලුත් වනු ඇතැයි බලාපොරොත්තු විය හැක. වසර තුනකට පසුව ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ තිබුණේ පෙබරවාරි මාසය තුළදීය.

මේ අතර ආයෝජන ප්‍රවර්ධන කටයුතු සියල්ල ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති උපදෙස් ද රුපියල් ශක්තිමත් කිරීමට හේතු වෙයි. ආයෝජන තොරතුරු ඕනෑම පාර්ශ්වයක් වෙත පහසුවෙන් සහ කඩිනමින් ලබාගැනීම සඳහා පහසුකම් සැලසීම එම ඩිජිටල්කරණයේ අරමුණය. එය මෙරට ආයෝජන අවස්ථා දිරිගැන්වීමට සහ ප්‍රවර්ධනයට හේතු වනු ඇත. එය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම ද මෙහිදී අවශ්‍යය. එවැනි උපදෙස් පොතට සීමා වීමෙන් අරමුණු ඉටුකර ගැනීමට හැකියාවක් නැත.

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟය පහසුවෙන් විසඳාගත හැකි ගැටලුවක් නොවන බවද තේරුම් ගත යුතුය. කප්පරකට ණය වී ඇති අපේ රට විසින් ගෙවිය යුතු ඩොලර් ණය නොගෙවන තත්ත්වයක් තුළ හෝ රුපියල ශක්තිමත් වීම අගය කළ යුතුය. එහෙත් එම අගය කිරීම කළ යුත්තේ අප ගෙවිය යුතු ණය කවදා හෝ ගෙවීමට සිදුවන බව සිහියේ තබා ගනිමින් බවද පෙන්වා දිය යුතුය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00