2023 පෙබරවාරි 19 වන ඉරිදා

ඡන්ද සිතියම අලුතෙන් ඇඳීම

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 113

ජේ.ආර්. ^77දී හයෙන් පහක බලයක් ලබාගෙන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව අපූරු කතාවක් කිව්වේය. ලංකාවේ මැතිවරණ සිතියම අවුරුදු දහයකට අකුලනවා කියා ඔහු කියූ ඒ කතාවට රටේ ජනතාව කුලප්පු වුණේ නැත. ඒ වෙලාවේ මුළු රටම හිටියේ ජේ.ආර්.ගේ පැත්තේය. උතුරේත් නැගෙනහිරත් ප්‍රශ්න තිබුණත් ඒ පළාත්වල හිටපු දෙමළ සහ මුස්ලිම් නායකයන්ටද ජේ.ආර්. ගැන කිසියම් බලාපොරොත්තුවක් තිබුණි. මේ නිසා මැතිවරණ සිතියම අකුලන කතාවට ජනතාවගෙන් විරෝධයක් එල්ල වුණේ නැත. ඒ ගැන ටිකක් හෝ කතා කළේ ශ්‍රීලනිපයත් වාමාංශික නායකයන් කිහිප දෙනකුත් පමණි.

ඒත් ආසන 08ට බැස හතරගාතෙන් වැටී සිටි ශ්‍රීලනිපයට රටේ ප්‍රශ්නවලට වඩා පක්ෂයේ ප්‍රශ්න ලොකු වී තිබිණි. ශ්‍රීලනිපය නායකත්වය රුක ගැනීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට වඩා සිරිමාවෝට වැදගත් වී තිබුණි. තමන්ගේ බලය දිගටම පවත්වාගෙන යාම සඳහා ඒ කාලේ ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීලනිපය ඇතුළේ නායකත්වය ගැටුම් ඇතිකර ශ්‍රීලනිපයේ ගමන් මග විනාශ කළේද ජේ.ආර්. බව ප්‍රකට රහසකි. ඔහු ඒ සඳහා යොදා ගත්තේ තමන්ගේ ''රාජකීය* මිතුරකු වූ අනුර බණ්ඩාරනායකය. අනුර ඒ වැඩේ හොඳටම කරද්දී ජේ.ආර්.ට ගේමක් නැතුවම රට කරගෙන යාමට පාර හැදුණේය. ජේ.ආර්. හිතුවේ හැමදාම දේශපාලන ගේම් ගහගෙන රට කරගෙන යා හැකි බවය.

හැබැයි ඒ එක්කම ජේ.ආර්. රට ඇතුළේ ආර්ථික පුනරුදයක් ඇති කළේය. එතෙක් වැසී තිබුණු රට ලෝකයට විවෘත කළේය. කෑම බීම සුලබ කළේය. අලුත් යාන වාහන, තරුණයන්ට අලුත්ම ජපන් මෝටර් සයිකල් රටට ආනයකය කිරීමට සියලු සහාය ලබා දුන්නේය. රැකියා සුලබ විය. ජේ.ආර්.ගේ ආණ්ඩුව කොයිතරම් ශක්තිමත් වුණාද කිව්වොත් '80 ජූලි වර්ජනයේදී රාජ්‍ය සේවකයන් හතළිස් දහසකට අධික පිරිසකගේ රැකියා අහිමි කළත් ආණ්ඩුවට අභියෝගයක් එල්ල වුණේ නැත. ඇතැම් වර්ජකයන් රැකියා නැතුව දිවි නහගත් අවස්ථාද වාර්තා විය. ඒත් ජේ.ආර්.ගේ ආණ්ඩුව සැලුණේ නැත.

ඒත් කාලය ටික ටික යද්දී රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා කෑගසමින් හිටියේ රෝහණ විජේවීර ප්‍රමුඛ ජවිපෙ තරුණ පිරිසය. ඔවුන් සමඟ යටින් සම්බන්ධ වෙමින් අනුර බණ්ඩාරනායකගේ සහ මහින්ද රාජපක්ෂගේ තරුණ පිරිසද ටික ටික ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හඬනගමින් ඉදිරියට පැමිණෙමින් සිටියෝය. අනුරත් මහින්දත් ඒ කාලයේ තරුණ ජවසම්පන්න නායකයන් වශයෙන් නමක් දිනාගෙන සිටියහ.

මේ ආපු රැල්ලට ජේ.ආර්. බය විය. ඔහු අතේ ඒ වෙනකොට හයෙන් පහක ආණ්ඩු බලයක් පමණක් නොව පූර්ණ බලැති විධායක ජනාධිපතිකම තිබුණත් ඡන්දෙ තිබ්බොත් හයෙන් පහක බලය නැතිවෙන බව ඔහු දැන සිටියේය. ^82 ජනාධිපතිවරණය දක්වා මැතිවරණ සිතියම ඇතුළත කතාව පැත්තකට දමා තිබුණත් ඊටපසුව තිබුණු මහ මැතිවරණය තීරණාත්මක බව ජේ.ආර්. දැනගත්තේය. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යවමින් ජනමත විචාරණය නමින් කුප්‍රකට වූ ලාම්පු-කළගෙඩි සෙල්ලමට ජේ.ආර්. ඉඩදුන්නේ කරන්න දෙයක් නැතිවීම නිසාය.

'82 ජනාධිපතිවරණය අවස්ථාවේ සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහිමි කර තිබූ නිසා ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කෙරුණේ හෙක්ටර් කොබ්බෑකඩුව යි. කොබ්බෑකඩුවගේ වේදිකාවේ ජේ.ආර්.ගේ නූල් සූත්තරේට හසුවූ අනුර බණ්ඩාරනායක සිටීම ශ්‍රීලනිපයට දැඩි අවාසියක් විය. ජේ.ආර්.ට එරෙහිව රුල්ල හමන විට අනුර බණ්ඩාරනායක තමන්ගේ අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුව වේදිකාවේ තබාගෙන කිව්වේ අපි කොබ්බෑකඩුවට දීලා තිබෙන්නේ තාවකාලික කොන්ත්‍රාත්තුවක් කියලාය. ඔහු නොකියා කිව්වේ කොබ්බෑකඩුව දිනුවත් පලක් නොවන බවය. එය ජේ.ආර්.ට වාසියක් විය. මේ නිසා ජේ.ආර්. පහසුවෙන් ජයගත්තේය. ජයගෙන ඊට පස්සේ ජනමත විචාරණයට ගියේ මහමැතිවරණය තිබ්බොත් තමන්ට හයෙන් පහක බලය තබා සරල බහුතරයක් ලබාගැනීම පවා අභියෝගයක් විය හැකි බව දැන සිටි නිසාය. මහ ඡන්දයකදී අනුරත් මහින්දත් එකතු වී ග්‍රාමීය මට්ටමෙන් ලොකු තරගයක් දෙන බවට ඔහු තුළ සැකයක් තිබුණි. ජේ.ආර්. බයවුණේ ඒ රුල්ලටය.

ජනමත විචාරණයෙන් ජේ.ආර්.ගේ ආණ්ඩුව ආසන 18කින් පරාජය විය. ඒ ආසන 18ට තැබූ අතුරු මැතිවරණවලදී මුල්කිරිගල ඡන්දය ජේ.ආර්.ගේ බය තවත් වැඩි කළේය. මහින්ද පාරට බැස තමන්ගේ පැත්තේ ඡන්ද දායකයන් වෙනුවෙන් සටන් කොට මුල්කිරිගල ආසනයට ලොකු සටනක් දුන්නේය. මැතිවරණ සිතියම අකුලන වැඩෙන් ජේ.ආර්. ඒ වෙලාවේ ජාම බේරාගත්තත් මැතිවරණ පිපාසයෙන් සිටි තරුණයෝ වැඩ කළේ ජේ.ආර්.ට ඕනෑ විදියට නොවේ. ජවිපෙ තරුණයන් පාර්ලිමේන්තුවට පැමිණ කරන්නට සිතාගෙන සිටි දේශපාලනය නැවතුණේය. උතුරේ තරුණයන්ටද අත්වුණේ ඒ ඉරණමය. උතුරේ ඒ වනවිටද තරුණයන් අවි අතට ගෙන සිටියහ.

මැතිවරණ සිතියම අකුලන කතාවෙන් වැඩගත් ජේ.ආර්. අන්තිමට වෝඩ් ප්ලේස් එකේ බිත්ති හතරට කොටු විය. මැතිවරණ නැති රටේ උතුරත් දකුණත් භීෂණයට ගොදුරු විය. ජේ.ආර්. බේරුණේය. ඒත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැති විය.

එහෙම වුණත් මේ තත්ත්වය තේරුම් ගත් පිරිසක්ද රටේ සිටියේය. ඒ භීෂණය මැද තමන්ගේ දේශපාලනය ඉදිරියට ගෙන ගිය දේශපාලන නායකයන්ය. එජාපයේත් ශ්‍රීලනිපයේත් පමණක් නොව වාමාංශික පක්ෂවලත් දේශපාලන නායකයෝ රටේ ඉතිරිව තිබූ ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණය යටතේ හෝ මැතිවරණ පවත්වා ගැනීමට උනන්දු වුණෝය. රට ඇතුළේ යුද්ධය, ත්‍රස්තවාදය තිබෙනවා කියා ඡන්ද තැබීම වැළැක්වීමට රාජ්‍ය නිලධාරීන් මෙහෙයවූයේ නැත. ඒ කාලයේ මැතිවරණ කොමිසමක් තිබුණේ නැත. මැතිවරණ පැවැත්වූයේ මැතිවරණ කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් මැතිවරණ දෙපාර්තමේන්තුව මගිනි.

මැතිවරණ සිතියම අකුලන්න ගිහින් අත පුච්චාගෙන රටම දෙකොණ පත්තු වූ විලක්කුවක් බවට පත්කරගෙන සිටි ජේ.ආර්. ද අන්තිමට ආර්. ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා බවට පත්කර නියම අවස්ථාවේදී ඡන්දය තැබීමට පියවර ගත්තේ වෙනත් කළ හැකි යමක් නොතිබූ බැවිනි. ශ්‍රීලනිපයෙන් ඉදිරිපත්ව සිටි සිරිමාවෝටද ආණ්ඩුව හිරිහැර කළේ නැත. භාණ්ඩාගාරයේ මුදල් නැතැයි කියා මැතිවරණ දෙපාර්තමේන්තුවට බාධා කළේ නැත. රටේ දැන් යුද්ධයක් තිබෙන නිසා ඡන්දයක් පැවැත්වීමට හැකියාවක් නැතැයි රටට කිව්වේත් නැත. රජයේ මුද්‍රණාලයට සල්ලි දෙනතුරු ඡන්ද පත්‍රිකා අච්චු ගහන්න එපා කියා තර්ජනය කළේ නැත. මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාරුකර ඡන්දයට හරස් කැපුවේත් නැත. ආරක්ෂාව දෙන්න බැහැයි කිව්වේත් නැත.

රජයේ මුද්‍රණාලයට අවශ්‍ය ආරක්ෂාව සපයා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමටත් ඒවා බෙදාහැරීමටත් ආණ්ඩුව කටයුතු කළේය. මැතිවරණ නිලධාරීන්ද ඒ ඡන්දය කළේ මරණ සහතිකය අතේ තබාගෙනය. ජනාධිපතිවරණය නිමවූයේ එම නිලධාරීන් දෙදෙනකුගේ ජීවිතද අහිමි කරගෙනය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා මැතිවරණ පැවැත්වීම කොතරම් වැදගත්ද යන පාඩම මේ නිලධාරීන්ද ආණ්ඩුවද රටටම පෙන්නුවේ එහෙමය.

මේ තත්ත්වය අදත් එක්ක සැසඳීමේදී පේන්නේ කොහොමද? මැතිවරණය පැවැත්වීමට සියලු පහසුකම් තිබියදී එය පැවැත්වීම වැළැක්වීමට ආණ්ඩුවේ පිරිසක් දැඩි වෙහෙසක් දරණ බවය. අද මැතිවරණය පැවැත්වීමට මුදල් නැතත් ආණ්ඩුවේ හැම වැඩකටම මුදල් තිබේ. රජයේ මුද්‍රණාලයට ආරක්ෂාව දීමට පොලිස් නිලධාරීන් නැතත් මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට දහස් ගණනක් පොලිස් නිලධාරීන් අනුයුක්ත කර තිබේ. මැතිවරණ කොමිසමට කවදාවත් නොතිබුණු බාධා සිදු කෙරේ.

පළාත් පාලන මැතිවරණය ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු මැතිවරණයකි. ඒ සඳහා අයවැයෙන් බිලියන 10ක මුදලක් වෙන්කර තිබුණත් දැන් කියන්නේ ඒ මුදල මුදාහැරීම අභියෝගයක් බවය. ආර්ථික අපහසුතා හේතුවෙන් මේ මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැතැයි ආණ්ඩුව කියන්නේ නම් එහි අනෙක් අර්ථය රටේ මින් ඉදිරියට කිසිම ඡන්දයක් නොපැවැත්වෙනු ඇති බවය. ආර්ථික ප්‍රශ්නයට කෙටිකාලීන විසඳුම් නැති බැවිනි. ආර්ථික අර්බුද ඉදිරියට දමාගෙන මැතිවරණ දින නියමයක් නැතිව කල් දැමීමට එය පූර්වාදර්ශයක් වීම වළක්වනු බැරිය. එය තවදුරටත් රටේ ආර්ථික ප්‍රශ්නයක් නොව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයකි. කොටින්ම එදා ජේ.ආර්. ප්‍රකාශ කළ මැතිවරණ සිතියම වසර 10ක ඇකිලීමක් නොව සදහටම හැකිලීමකි.

මේ තත්ත්වයේ වඩාත්ම කනගාටුදායක කාරණය නම් හැමදාමත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කළ එසේම ජනාධිපති ධුරයේ සිටියදී හැම ඡන්දයක්ම වෙලාවටත් කලින් තැබූ මහින්ද රාජපක්ෂත් මේ මැතිවරණ සිතියම හැකිලීමට දායක වී සිටීමය. මේ ඡන්දය තැබිය යුතු බව මහින්ද කිව්වත් එය වචනයට පමණක් සීමා වී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. පළාත් පාලන මැතිවරණය තැබිය යුතු බවට මහින්ද පොහොට්ටුවේ මැති ඇමැතින්ට හෝ ජනාධිපති රනිල්ට හෝ කිසිම බලපෑමක් කරන බවත් දැනගන්නට නැත. මේ නිසා පැහැදිලිව පේන්න තිබෙන්නේ උසාවිය හරහා තීන්දුවකට නොපැමිණියොත් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවය. එය ඉදිරි මැතිවරණවලටත් එසේම සිදුවිය හැකිය.

ජේ.ආර්. මැතිවරණ සිතියම අකුලන විට ඔහුට හයෙන් පහක බලයක් පාර්ලිමේන්තුවේ තිබුණි. රට ඇතුළේ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කර ආර්ථිකයද ඉහළ නංවා තිබුණි. ජාත්‍යන්තරයේ සහායද ජේ.ආර්.ට තිබුණේය. එයත් වසර කිහිපයක් ඇතුළත ඔහු නිවසේ බිත්ති හතරට කොටු විය. රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකීමත් ඒ සඳහා මැතිවරණ පැවැත්වීමේ වැදගත්කමක් ජේ.ආර්.ට අවබෝධ වනවිට රටම තිබුණේ ගිනිවතුරට වැටිලාය.

ආණ්ඩුව ඡන්දය නොතබන්නේ මුදල් නැති නිසා නොවන බවත් අත්විය හැකි පරාජයට බියෙන් බවත් පොදු පිළිගැනීමය. තමන්ගේ ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්ව තිබෙන බව ආණ්ඩුවේම නායකයන් පිළිගන්නා තත්ත්වයක් තුළ මැතිවරණ සිතියම අකුලන්නට යාම දේශපාලන වශයෙන් ''හරා කිරි'' කර ගැනීමකි. රටම ගිනිවතුරට ඇද දැමීමකි. අඩුම තරමින් ජේ.ආර්.ගෙන් පාඩම් ඉගෙන ගන්නවා නම් කවදාවත් කිසිම නායකයෙක් මැතිවරණ සිතියම අකුලනවා තබා ඒ ගැන හිතන්න යන්නේත් නැත.

I ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00