2023 පෙබරවාරි 19 වන ඉරිදා

සල්ලි නැහැ කියලා ජනාධිපති ඡන්දෙත් කල් දාන්න පුළුවන්

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 57

හේෂා විතානගේ - (පාර්ලිමේන්තු මන්ත්‍රී - සමගි ජන බලවේගය)

♦ මුදල් නැති රටේ මහ විශාල නිදහස් උත්සවයක් තිබ්බෙ කොහොමද?
♦ මැතිවරණ කොමිසම ඉන්නෙ පොල් කඩන්න නෙවෙයි
♦ රුල්ලෙන් බලයට එන අයට අනාගතයක් නැහැ
♦ අපි මේ සටන මහ පාරට ගේනවා

සමගි ජන බලවේගය මේ වෙද්දි දැවැන්ත ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරගෙන යනවා. ඒත් තවම මැතිවරණය අවිනිශ්චිත වෙලා තියෙන්නෙ. යම් හෙයකින් මැතිවරණය නොතිබ්බොත් ඔබලා ගන්න පියවර මොකක්ද?

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඉතාම නිර්ලජ්ජිත විදිහට උල්ලංඝණය කරමින් යන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා. මේ රටේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නවලට සැබෑම උත්තරය තමයි ප්‍රජාතන්ත්‍රවාදී ගුණයන් ආරක්ෂා කිරීම. අපි විශ්වාස කළා රනිල් වික්‍රමසිංහගේ කොයි තරම් අඩුපාඩු තිබුණත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දරුණු ප්‍රහාරයක් එල්ල නොකරයි කියලා. හැබැයි ආණ්ඩුව මේ වෙද්දි කරන්නෙ මැතිවරණය කල් දාන එක. අපි විශ්වාස කරනවා මේ රටේ අධිකරණය. අධිකරණය හරහා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරයි කියලා අපි හිතනවා. ඒ වගේම තව විශ්වාසයක් තියෙනවා මැතිවරණ කොමිසම ඍජු තීන්දු අරගෙන මේ රටේ දේශපාලනඥයන්ට ඕන විදිහට වැඩ නොකරයි කියලා.

ඒ දෙකම සාර්ථක නොවුණොත්?

එහෙම නොවුණොත් මේ රටේ ප්‍රධාන විපක්ෂය හැටියට පාරේ  දැවැන්ත සටනකට අපි ජනතාව වෙනුවෙන් නායකත්වය දෙනවා. ඒකට හේතුව මේ රටේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නවලට අමත‍රව තවත් ප්‍රශ්න ඇති කරන රනිල් වික්‍රමසිංහ පළවා හරින තෙක් ඒ සටන ඉදිරියට කරගෙන යන්න පක්ෂය ඇතුළෙන් සාකච්ඡා කරගෙන යනවා.

ආණ්ඩුව කියන්නෙ මේ මොහොතේ ඡන්දය තියන්න මුදල් නෑ කියලා. මුදල් නැත්නම් කොහොමද මැතිවරණයක් තියන්නෙ?

ඇත්තටම ආණ්ඩුවේ තර්කය හරිම බොළඳ තර්කයක්. මොකද මේ රටේ මැතිවරණ තියන එකයි ආර්ථිකයයි සමාන කරන්න බෑ. මුදල් නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් අපි අහන්න කැමැතියි ජනාධිපතිවරණයක් ආවොත් සල්ලි නැති නිසා සල්ලි හම්බවෙනකල් මම ජනාධිපති කියන්නද හදන්නෙ. පාර්ලිමේන්තු මැතිවරණයක් ආවොත් සල්ලි නැති නිසා පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියට ඔහොම දිගටම ඉන්න කියන්නද? මොන බොළඳ තර්කද? මේ රටේ තියෙන්නෙ විකෘති පාර්ලිමේන්තුවක්. මේ රටේ විකෘති ජනාධිපති කෙනෙක් ඉන්නෙ. අඩුම ගානේ ජනතාවාදී පළාත් පාලන ආයතන ටිකක්වත් හදාගන්න උත්සාහයක් නෑනේ. මේ වෙද්දි රජයේ මුද්‍රණාලායාධිපතිනියත් රජයේ අතකොලුවක් වෙලාද කියලා අපිට සැකයක් තියෙනවා. එතුමි‍ය ඉතිහාසයේ වැඩ කරපු ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් පාවිච්චි කරනවා කියලා මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රකාශයෙන් පවා අපිට තහවුරු වෙලා තියෙනවා. සල්ලි නැත්නම් නිදහස් උත්සවය තිබ්බේ ඇයි? නිදහස් උත්සවයට වඩා මැතිවරණය වැදගත්.

භාණ්ඩාගාර ලේකම් අධිකරණයට පවා කියලා තියෙනවා මුදල් නැති බව?

ඇත්තටම ආණ්ඩුවට සල්ලි නැති එකක් නෙමේ තියෙන්නෙ. ඡන්ද නැති එකක්. ඡන්දයක් තිබ්බොත් ඔය කට්ටියටම පුටු අහිමි වෙනවා. ඒක ආරක්ෂා කරන්න තමයි මේ ඡන්දය කල් දාන්නෙ. කොහොම වුණත් අපි ලෑස්තියි රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක මේක බේරාගන්න.

ආණ්ඩුවේ අය ප්‍රශ්න කරනවා මැතිවරණ කොමිසමේ තීන්දු ගැන. බෙදිලා කියනවා, සැකයි කියනවා. ඔබලටත් එහෙම සැකයක් තියෙනවද? 

එහෙම කියන මහත්තයෙක්ට හරි නෝනා කෙනෙක්ට හරි අපි කියනවා එන්න අපි එක්ක සංවාදයකට කියලා. මැතිවරණ කොමිසමේ වගකීම තමයි මේ වෙලාවේ නියමිත වෙලාවට මැතිවරණය තියෙන එක. මැතිවරණ කොමිසම ඉන්නෙ පොල් කඩන්න නෙමෙයිනේ, වෙලාවට ඡන්දය තියන්න. ඔවුන් ඡන්දය තියන්න ලෑස්ති වෙනකොට ආණ්ඩුවේ ප්‍රශ්න එයාලට වැඩක් නෑ. ආණ්ඩුවේ වාසි අවාසියට මැතිවරණ තියන්න බෑ. රටේ මැතිවරණ නීතියක් තියෙනවා. ඒකට අනුවයි මැතිවරණය තියන්නෙ. මැතිවරණ කොමිසම වැඩ කරන්නෙ රටේ උත්තරීතර නීතිය වෙච්ච ව්‍යවස්ථාවට අනුව.

සමගි ජන බලවේගයේ ප්‍රධාන හතුරා වෙලා ඉන්නෙ ආණ්ඩුවට වඩා ජාතික ජන බලවේගය. මොකද මාලිමාව දැන් අභියෝගයක් වෙලාද තියෙන්නෙ? 

ජාතික ජන බලවේගයත් අපිත් විපක්ෂය ලෙස කටයුතු කළා එකට. මෑතක් වෙනකම් අපි දෙගොල්ලෝ අතර කිසිම වචන හුවමාරුවක් වුණේ නෑ. අනුර කුමාර දිසානායක මහත්තයට එකපාර ලෙඩක් හැදුණා, පොහොට්ටුවේ ගැලවුණු පිරිස අපි වෙත ඇදෙන නිසා තමන්ට සමගි ජන බලවේගය අභියෝගයක් වෙන්න යන්නෙ කියලා. ඒ නිසා ආණ්ඩුවට ගහනවා වෙනුවට අපිට ගහන්න ගත්තා. එතකල් අපි කිසිම විවේචනයක් කරලා නෑ. ඒත් දැන් අපිට ඇත්ත කියන්න වෙලා තියෙන්නෙ. එහෙම නැතිව අපිට ඒ අය අභියෝගයක් නෑ. අපි දේශපාලනය කරන්නෙ ලක්ෂ 55ක ඡන්ද ගත්ත නායකයෙක් එක්ක. අනුර කුමාර මහත්තයා ඡන්ද කරන්නෙ ලක්ෂ 3 ක් අරගෙන. ඉතින් අපිට කොහෙද අභියෝගයක් වෙන්නෙ.

ඒ ලක්ෂ තුන මාලිමාවේ ජයග්‍රහණයට පාර කැපුවොත්?

ලක්ෂ තුනක ඡන්ද මේ ඉතිහාසයේ කවදාවත් ලක්ෂ 55 ක් වෙන්නෙ නෑ. මතක තියාගන්න අපි මේ රටේ පළාත් පාලන ආයතන 95෴ ක බලය ගන්නවා.

ඔවුන්ට රුල්ලක් තියෙනවා කියන්නෙ?

ඇත්තටම ඒ අය රුල්ල ගැන කතා කරන්නෙ අවබෝධයක් නැතුව. ඒ රුල්ල තියෙන්නෙ සමාජ මාධ්‍යයේ. මොකද සල්ලි වියදම් කරලා ලොකු කැම්පේන් එකක් එයාලා කළා දැනට මාස කිහිපයකට කලින්, ඒ අයගේ එක එක හොඳ කියලා. ඒත් ඒ සියල්ල බොරු වෙලා. ඒ අය පඩි ගන්නෙ නෑ කිව්වට ඒ පඩිය පක්ෂ මූලස්ථානයට ගිහින් ගන්නවා. චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුවේ හිටිය ඇමැතිවරු 8 දෙනත්, මන්ත්‍රීවරු 33 ත් මේ ගිය මාසය වෙනකල් විශ්‍රාම වැටුප් ගත්තා. ඒ නිසා ඒ අය බොරුව ස්ථාපිත කරලා කරපු කැම්පේන් එක වෙනුවට අපි ඇත්ත කියනවා. මතක තියාගන්න මේ රටේ රුලිවලින් පත්වෙන කිසිම කෙනෙක්ට ආයේ බලය ලැබෙන්නෙ නෑ. ඇත්ත එක්ක මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන සජිත් ප්‍රේමදාස මහත්තයා ඊළඟට රටේ නායකයා.

ගොඩක් අය කියනවා මේ ඡන්දය දින්නම ආණ්ඩුව පෙරළනවා කියලා. කොහොමද එහෙම පෙරළන්නෙ?

මම කිව්වනේ මේ රටේ වර්තමාන පාර්ලිමේන්තුව විකෘතියක්. ඒ වගේම ජනාධිපතිවරයා ජනමතයෙන් පත්වෙච්ච කෙනෙක් නෙමේ. මේ දෙගොල්ලන්ටම ජනතාවාදී වගකීම් ඉෂ්ඨ කරන්න වගකීමක් නෑ. ජනාධිපතිවරයට කිසිම ජනවරමක් නෑ. ඒ නිසා මේ පුංචි ඡන්දයෙන් ලැබෙන ජනවරමෙන් මේ පාර්ලිමේන්තුවටත් ජනාධිපතිවරයටත් බලපෑමක් කරන්න පුළුවන් ජන වරමකට. ඒ ජනවරමෙන් ස්ථාවර ආණ්ඩුවක් හදන්න පුළුවන්. එතකොට ආර්ථික ස්ථාවරයකට යන්නත් පුළුවන්. කොහොම වුණත් ආණ්ඩුවට ඒ පණිවිඩය ලැබිලා නිසයි ඡන්දය මග අරින්නේ.

මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල, රනිල්, අනුර ඉදිරිපත් වෙනවා. ඒක සජිත්ට අභියෝගයක් වෙයිද?

නෑ. ජනාධිපතිවරණයට ඊට වඩා එනවා. ඒත් කී දෙනෙක් ලක්ෂයට අඩුවෙන් ගන්නවද? ලක්ෂ 50 ට වඩා කී දෙනෙක් ගන්නවද? කොහොම වුණත් දැනට ඔය තරගෙ තියෙන අයගෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා තනතුර දරමින් ඉන්නෙ. මෛත්‍රීපාල මහත්තයා දරලා ඉවරයි. අනුර කුමාර මහත්තයා කොහොමත් අභියෝගයක් නෙමේ.

I ගයාන් ගාල්ලගේ