2023 පෙබරවාරි 05 වන ඉරිදා

’’නූල්’’ සූත්තර දේශපාලනය

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 173

පුංචි ඡන්දය වළක්වා ගැනීමට ආණ්ඩුව දිගින් දිගටම දරණ උත්සාහය ආණ්ඩුව ඇතුළේම බරපතළ දෙදරීමක් ඇතිකර තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. පසුගියදා පොහොට්ටුවේ සංවිධායකවරුන් කොළඹට කැඳවූ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඔවුන්ට කිව්වේ මාර්තු 09 වැනිදා පළාත් පාලන ඡන්දය ස්ථිර වශයෙන්ම පැවැත්වෙන බවය. වහාම ඊට සූදානම් වන ලෙසට සංවිධායකවරුන්ට දන්වා තිබූ බැසිල් ඡන්දයේ සංවිධාන කටයුතු තමන් විසින් මෙහෙයවන බවට ප්‍රකාශයක් ද කර තිබුණි.

ඒ කියන්නේ ඡන්දය පැවැත්වීම මේ අවස්ථාවේදී කළ නොහැකි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහත් ඔහුට සහාය දක්වන ආණ්ඩුව ඇතුළේ පිරිසත් කරන ප්‍රකාශ තවදුරටත් වලංගු නැති බවද? ඡන්දය නොපැවැත්වීමට ඊළඟට දරණ හැම උත්සාහයක්ම පරාජය කිරීමට බැසිල්ලා ඉදිරිපත් වනු ඇති බවද?

බැලූ බැල්මට පෙනෙන්න තිබෙන්නේ එහෙම වෙන බවය. හැබැයි කවදාවත් බැසිල් එළියට බැස ජනාධිපතිගේ අදහස්වලට පහර ගැසීමට නම් ඉදිරිපත් වන්නේ නැත. ඒ වෙනුවට ඔහු තිරය පිටුපස සිට ඒ කාර්යය මෙහෙයවනු ඇත. බැසිල් කවදත් මැතිවරණයකදී එළිපිට බැස ගේම් ගැහුවේ නැත. හැමදේම කළේ පිටුපසින් සිටිමිනි. 2020 පැවති මහ මැතිවරණයේදී විපක්ෂයේ වැඩිම ආසන ගණනක් දිනාගත් සජිත්ගේ සමගි ජන බලවේගයට තම පක්ෂය සහ ලකුණ ලබාදුන් ඩයනා ගමගේ රාජපක්ෂ ආණ්ඩුවට තුනෙන් දෙක ලබාගන්න ආණ්ඩුවට එක්වීම එවැනි ගේම්වල එක් ප්‍රතිඵලයකි. එහෙම කළත් ආණ්ඩුව ගෙන යාමට නොහැකි වීම වෙනම කතාවකි. ඒත් බැසිල් මැතිවරණවලදී ගහන ගේම් ගැන හරියට දැනගැනීමට ප්‍රතිඵල එනකම්ම සිටිය යුතුය.

මේ වෙලාවේ ජනාධිපතිට ඡන්දයක් අවශ්‍ය නොවෙන්නත් බැසිල්ට ඡන්දයක් ඕන වෙන්නත් හේතුව මොකක්ද? බැලූ බැල්මට නම් පේන්නේ තම තමන්ගේ ඡන්ද ප්‍රමාණය ගැන කිසියම් අදහසක් මේ දෙදෙනාම තුළ තිබෙන බවය. බැසිල් නම් දිගටම දැරූ අදහස වුණේ දැන්ම තබන ඡන්දයකින් තමන්ගේ පක්ෂය ඉන්න තැන බලාගැනීමට අවස්ථාවක් ලැබීම හොඳ බවය. දේශපාලනයේදී ජයත් පරාජයත් දෙකම විඳගැනීමට පුරුදු විය යුතු බවත් දැන් ලැබෙන ප්‍රතිඵලයෙන් ආණ්ඩුව වෙනස් නොවුණත් ඊළඟට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට හෝ ජනාධිපතිවරණයට මුහුණ දීමට සැලැස්මක් හදාගැනීමට අවස්ථාව ලැබීම මේ වෙලාවේ හැටියට වාසියක් බවත් බැසිල් කල්පනා කරනවා විය යුතුය. පසුගිය දවස්වල යම් යම් තැන්වලදී කර තිබූ ප්‍රකාශ අනුව මහින්ද හිතන්නේත් එයම බව පෙනෙන්නට තිබුණි. මහින්ද කවදත් ඡන්දයක් තැබීමට එරෙහි වුණේ නැත. ඡන්ද කලින් තැබීමට ඉදිරිපත් වුණා මිස කවදාවත් ඡන්ද කල් දාන්න ගියේත් නැත.

බැසිල්ලා එහෙම හිතුවාට ජනාධිපති රනිල්ටත් ඔහුට සහාය දක්වන යූ.එන්.පියේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු ආණ්ඩුව ඇතුළේ ඉන්න පිරිසටත් එහෙම හිතන්න බැරිය. පුංචි ඡන්දයට නාමයෝජනා ලබාදීමේදී යූ.එන්.පියට ඇතැම් පළාත්වල අපේක්ෂකයන් සොයා ගැනීම පවා ගැටලුවක් වී තිබුණි. පොහොට්ටුවටත් ඇතැම් ස්ථානවලදී මේ ගැටලුවටම මුහුණ දීමට සිදුව තිබුණත් පසුව බැසිල් වැඩේට බැසීමත් සමඟ ඒ තත්ත්වය වෙනස් විය. යූ.එන්.පියත් පොහොට්ටුවත් ඇතැම් ප්‍රදේශවලදී එකම ලිස්ට් එකකින් තරග කිරීමේ එකඟත්වය ඇතිවුණේ එහි ප්‍රතිඵලයක් හැටියටය. එහෙත් ප්‍රතිපත්තිමය වශයෙන් මෙතරම් විශාල වෙනස්කම් ඇති පක්ෂ දෙකක් ඡන්යකදී මෙහෙම එකතුවීම දේශපාලනයේ නම් ඉතාම විරල සිදුවීමකි. එය තම පක්ෂවල ජාම බේරාගැනීම සඳහා ගැසූ තුරුම්පුවක් පමණක් බව පැහැදිලිය. ඒකෙ වාසිය යන්නේ කාටද කියන එක බලාගන්න ප්‍රතිඵල එනතුරුම සිටිය යුතුය.

ජනාධිපතිවරයා ඡන්දය මේ වෙලාවේ පැවැත්වීම දුෂ්කර බව රට ඇතුළේ ප්‍රකාශ කළත් පසුගියදා ලංකාවට පැමිණි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරියක වන නූලන්ඩ් සුළු පක්ෂ නායකයන් හමු වූ අවස්ථාවේදී කියා තිබුණේ ඉදිරි මැතිවරණය නියමිත පරිදි පැවැත්වෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවය. පසුගිය මාස කිහිපය තුළදී නූලන්ඩ් ලංකාවට පැමිණි දෙවැනි අවස්ථාව මෙයයි. ඇය මේ වතාවේ ලංකාවට ආවේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ අවවාදයක් ද අරගෙනය. එය අනතුරු ඇඟවීමක් පවා විය හැකි බවත් පෙනෙන්නට තිබේ.

නූලන්ඩ් ලංකාව ඇවිත් කතා කළේ චීනය ගැන වීම එම අනතුරු ඇඟවීමේ සංඥාව විය. ඇය කිව්වේ ලංකාවට ලබා දී තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීන රජය අයි.එම්.එෆ්. එකට ලබාදුන් වසර දෙකේ සහතිකය ප්‍රමාණවත් නොවන බවය. චීනය වඩාත් විශ්වාසදායක වූත් නිශ්චිත වූත් සහතිකයක් ලබාදෙන තුරු අයි.එම්.එෆ්. ණය ලබා දීම ප්‍රමාද වනු ඇති බවට ඇයගේ ප්‍රකාශයේ සඳහන් විය.

මේ කතාවේ තේරුම ලංකාව අයි.එම්.එෆ්. එක සමඟ කොතරම් සාකච්ඡා කළත් ණය ලංකාවට ලබාගන්න නම් අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වන බවය. ඒ බව සනාථ වන තවත් කරුණු ගණනාවක් ද ඇයගේ ප්‍රකාශයේ සඳහන් විය.

♦ සියලු ප්‍රධාන පෙළේ ණය හිමියන් අයි.එම්.එෆ්. සමඟ සාකච්ඡාවලට සහභාගි වී සිටී.
♦ පැරිස් සමාජ සාමාජිකයන් සමඟ සාකච්ඡාවලදී අමෙරිකාවේ සහාය ලැබෙනු ඇත.
♦ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩුකරණය වඩාත් ශක්තිමත් කිරීම අවශ්‍යතාවකි. යෝජිත පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ එක් පියවරකි.
♦ ප්‍රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් ජාතික කතිකාවක් ඇතිකර ගැනීමටත් ත්‍රස්ත මර්දන පනත ප්‍රතිසංස්කරණය කිරීමත් අවශ්‍යය.

නූලන්ඩ් මේ කතා ටික කියා ඊළඟට කිව්වේ ආර්ථික අභියෝග ජය ගැනීමට අයි.එම්.එෆ්. ණය හැකි ඉක්මනින් ලංකාවට ලැබෙනු ඇතැයි අමෙරිකාව අපේක්ෂා කරන බවය. අමෙරිකාව ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුකරණය, ආර්ථිකය වැනි විෂයන් ගැන අවවාද දුන්නේ පළමු වතාවට නොවේ. මීට පෙරත් අමෙරිකාව මේ වැනි අවවාද ලබා දී තිබේ. මේ වතාවේ පැහැදිලිව පෙනෙන වෙනස ලංකාව මහත් බලාපොරොත්තු තබාගෙන සිටින අයි.එම්.එෆ්. ණය ඔවුන්ගේ කොන්දේසි සමඟ ගැටගසා තිබීමය. එක පැත්තකින් අයි.එම්.එෆ්. එක ලංකාවට ලබාදුන් කොන්දේසිවලද මෙයින් සමහරක් ඇතුළත්ය. අයි.එම්.එෆ්. කොන්දේසි සැපිරුවත් ණය ලැබෙන්නේ අමෙරිකානු කොන්දේසි ඉටු වුණොත් පමණක් බවට වන අනතුරු ඇඟවීමක් නූලන්ඩ්ගේ කතාව ඇතුළේ තිබෙන බව පැහැදිලිය.

බැසිල් මාර්තු 09 වැනිදා ෂුවර් එකටම ඡන්දය පැවැත්වෙන බව කිව්වේ මේ පසුබිමේය. ඡන්දය පැවැත්විය යුතු බවට තද ස්ථාවරයක සිටින ඔහුට නූලන්ඩ්ගේ කතාව ලොකු තල්ලුවක් දී තිබේ. ඒත් ජනාධිපති රනිල්ට නූලන්ඩ්ගේ කතාව ලොකු අභියෝගයක් වන බව පෙනෙන්නට තිබේ.

ඡන්දය කල් දමාගැනීමට මොන දහං ගැට දැම්මත් ඡන්දය පැවැත්වීමෙන් තොරව අයි.එම්.එෆ්. ණය ලබාගැනීමක් ගැන දැන් සිතාගැනීමත් අපහසු බව ජනාධිපතිවරයා දැන සිටී. එහෙම වුණත් ඡන්දය පැවැත්වීමෙන් පසුව විය හැකි දේ ගැන කිසියම් තක්සේරුවක ජනාධිපතිවරයා ඉන්නවා නම් ඔහු වඩාත් කැමැති වනු ඇත්තේ ඡන්දය පවත්වනවාට වඩා එය නොපවත්නා සිටීමට බව ඉතාම පැහැදිලිය. නූලන්ඩ් ජනාධිපතිවරයාට නොකියා කියන්නේ අයි.එම්.එෆ්. ණය අවශ්‍ය නම් අමෙරිකාවේ අදහස් ක්‍රියාත්මක කළ යුතු බවය. රටේ ප්‍රබල විරෝධතා රුල්ලක් නිර්මාණය කරමින් අයි.එම්.එෆ්. කොන්දේසි ගෙඩි පිටින් ඉටු කරන්න ගොස් ඡන්දයකට යා නොහැකි තත්ත්වයකට වැටී සිටින ආණ්ඩුවට දැන් ආපසු හැරෙන්න බැරිය. ඡන්දයකට ගිහින් ඉල්ලාගෙන කන්නත් බැරිය.

අමෙරිකාව නූලන්ඩ් යොදාගෙන මේ කරන නූල් සූත්තරය නිරූපණය කරන්නේ ජාත්‍යන්තර දේශපාලනයේ එක පැතිකඩකි. ඉන්දීය සාගර කලාපයේ ආධිපත්‍යය පිළිබඳ සටනේදී අමෙරිකාව ඉන්නේ ඉන්දියාව එක්කය. මේ රටවල් දෙකම චීනයේ ආධිපත්‍යය රුස්සන්නේ නැත. ඔවුන් අග්නිදිග ආසියානු කලාපයේ දේශපාලනය හැසිරවීමට තමන්ගේ බලය තිරය පිටුපස සිට ක්‍රියාත්මක කරන බව රහසක් නොවේ. ලංකාවේ අයි.එම්.එෆ්. ණයට පුංචි ඡන්දය ඈඳීමත් ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන ගණනින් ආධාර දී 13 වැනි ව්‍යවස්ථාව බලාත්මක කිරීමට පළාත් සභා ඡන්ද පවත්වන්නැයි රාජ්‍ය තාන්ත්‍රිකව දැනුම් දීමත් ඒ ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රතිඵලය. ලංකාව ඒ මැද්දේ &සැන්ඩ්විච්* එකක් වී තිබෙන්නේ මේ රටේ හිටපු හැම දේශපාලන පක්ෂයකම වැරුද්දෙනි. අද රනිල් &අන්තෝ ජටා - බහි ජටා* තත්ත්වයේ සිටින්නේත් ඒ හේතුවෙනි.

ව්‍යවස්ථානුකූලව රටේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව රනිල් මුහුණදෙන ලොකුම අභියෝගය එයයි. පුංචි ඡන්දය ප්‍රකාශයට පත්කෙරෙන තුරු ඔහු සිටියේ සුව පහසු කලාපයක් ඇතුළේය. දැන් එයින් එළියට බැස යථාර්ථයට මුහුණ දීමට ජනාධිපතිවරයා වශයෙන් ද යූ.එන්.පියේ නායකයා වශයෙන් ද ඔහු අභියෝගයකට මුහුණ දී සිටී. තම දේශපාලන දිවියේ අභියෝග විශාල සංඛ්‍යාවකට මුහුණ දී ඒවායින් සෑහෙන ප්‍රමාණයකින්  ජය ගෙන සිටින කෘතහස්ත පළපුරුදු දේශපාලන නායකයකු වන රනිල් මේ වෙලාවේ ගන්නා තීරණය ගැන ලංකාවේ දේශපාලන පක්ෂ පමණක් නොව අමෙරිකාවත් බලාගෙන සිටී.

I ශශීන්ද්‍ර