2023 පෙබරවාරි 05 වන ඉරිදා

ගහෙන් වැටුණ මිනිසාට ගොනා ඇනීම.

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 88

පෙට්‍රල් මිල හදිසියේම රුපියල් 30කින් ඉහළ ගියේය. ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කට වඩා ඉහළ යනු ඇති බවට ප්‍රකාශ වී තිබේ. මේ දෙකම මීට පෙරදී මිල පහත දමා තිබූ භාණ්ඩය. ලෝකයේ මිල ඉන්ධන ගණන් ඉහළ නොයන තත්ත්වයක් තුළ මිල සූත්‍රයකටත් අනුගත නොවී පෙට්‍රල් සහ ගෑස් මිල ගණන් මෙසේ වැඩිවීම ගහෙන් වැටී සිටින සමස්ත ජනතාවට ගොනා ඇනීමකි. තවත් මෙවැනි ඇනීම් රැසකි.

උපයන විට බද්ද විශාල පරාසයකින් ඉහළ යාම එයින් එකක් වෙයි. එය අද රටේ බරපතළ ගැටලුවක් බවට පත් වී තිබෙන අතර නුදුරු දිනවලදී විශාල අර්බුදයක් බවට පත්වන ලකුණු හැම අතින්ම පහළ වෙමින් තිබේ. පෞද්ගලික අංශයේ සේවක පිරිස් පමණක් නොව රාජ්‍ය සේවයේ විශාල පිරිසක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඇතුළුව බදු වැඩි කිරීමේ ඉහළ පරාසය හේතුවෙන් මහත් අමාරුවක වැටී සිටිති. අනෙක් සියලු භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යන තත්ත්වයක් තුළ තමන්ට ලැබෙන වැටුප පවා ප්‍රමාණවත් නොවන අතරේ මෙසේ මිල ගණන් වැඩි කිරීම ඔවුන්ගේ දෛනික ජීවිතයට විශාල බලපෑමක් එල්ල කර තිබේ.

ආදායම් බදු ගෙවිය යුතු ඉහළ පෙළේ ඇතැම් ව්‍යාපාරිකයන් සහ විවිධ ආණ්ඩුවල ගජ මිතුරන්ට සිටි බලවත් පිරිස් බදු දැලේ හිල්වලින් පහසුවෙන් රිංගා යමින් සිටියදී මාසේ අන්තිමට ලැබෙන වැටුපෙනුත් විශාල ලෙස බදු ගෙවීමට සිදුවීම රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවක සේවිකාවන්ටත් නිලධාරීන්ටත් බලවත් ගැටලු ඇති කරන බව සැඟවිය නොහැක. පොදුවේ බදු ගෙවීමට තමන් තුළ අකැමැත්තක් නැති වුවද මේ තරම් දැරිය නොහැකි තරමකට වැඩි කර ඇති බදු තමන්ගේ බොහොමයක් අයිතිවාසිකම් භුක්ති විඳීමට හරස් කපන බව ඔවුහු කියති. පෙබරවාරි මාසය පුරා ''කළු විරෝධය'' ඇරුඹුණේ මේ හේතුවෙනි.

විදුලිබල අමාත්‍යාංශයත් මහජන උපයෝගිතා කොමිසමත් අතර ඇතිව තිබෙන ගැටුම ද තවත් 'ඇනීමක්' බවට පෙරළීමෙන් රටේ උසස් පෙළ සිසුන් සහ ඔවුන්ගේ මවුපියෝ අප්‍රමාණ දුකට පත් වී සිටිති. මේ වනවිට මාධ්‍යයේ දිනපතාම පාහේ එක් සිරස්තලයක් වෙන් වී ඇත්තේ විදුලිබල අමාත්‍යාංශයේ සහ උපයෝගිතා කොමිසමේ කඹ ඇදීමේ කතාවටය. පසුගිය දිනවල එම ගැටලුව අධිකරණය දක්වා ඇදී ගිය අතර දැනට ලැබී ඇත්තේ තාවකාලික විසඳුමක් බව පෙනී යයි. අමාත්‍යාංශයේ සහ කොමිසමේ බල අරගලය රටේ ජනතාව ඉදිරියේ විහිලුවක් වී හමාරය. එහෙත් ගැටලුව එසේමය. එය විසඳෙන දවසක් ගැන අනුමාන කිරීම පවා දුෂ්කර කාර්යයකි. මේ නරි නාටක දිගහැරෙන්නේ විදුලිය බිල වරක් වැඩි වී තව වරක් විශාල ලෙස වැඩි කිරීමට දරණ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් බව අමතක නොකළ යුතුය.

ඊළඟට මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය නොපවත්වන තැනට වැඩ සිදු කිරීමේ උත්සාහයන් ගණනාවක් ක්‍රියාත්මක වන බව පෙනේ. ඒවා තවදුරටත් ක්‍රියාත්මකව පවතින බවද අසන්න දකින්න ලැබෙන සිදුවීම්වලින් පෙන්වා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක නොසිදුවිය යුතු බොහෝ දේ පුංචි ඡන්දය අහෝසි කිරීමේ චේතනාවෙන් සිදුකෙරෙන බව ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය වෙමින් තිබේ. මෑත ඉතිහාසයේ ඡන්දයක් ඉදිරියේ මේ තරම් බාල්දි පෙරළුණු අවස්ථාවක් දැනගන්නට නැත. ''වහෙන් ඔරෝ'' භාෂාවෙන් ඡන්දය නොපැවැත්විය යුතු බවට තග දමන්නේ අත්විය හැකි පරාජයක පෙරනිමිති දැකගැනීම නිසා බවට ජනතාව තුළ හැඟීමක් ඇතිවීම මේ තත්ත්වය යටතේ වැළැක්විය නොහැක.

ඒ අතරවාරයේ ප්‍රකාශ වෙන්නේ ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු තබාගෙන සිටින අයි.එම්.එෆ්. ණය ලබාදීම තවදුරටත් කල් යන බවය. මෙහි අලුත්ම කතාව කියන්නේ පසුගියදා ලංකාවට පැමිණි අමෙරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ රාජ්‍ය උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ය. ඇය ප්‍රකාශ කළේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය ලබා දුන් සහතිකය ප්‍රමාණවත් නොවන බවය. එහි යටි පෙළෙන් කියවෙන්නේ අයි.එම්.එෆ්. ණය ලබා දීම තවදුරටත් ප්‍රමාද වන බව මිස වෙනත් කිසිවක් නොවේ. එම ණය ප්‍රමාද වනවිට රටේ ආර්ථික තත්ත්වය තවදුරටත් පල්ලම් බසිනු හැර ඉදිරි මගකට යොමුවෙන්නේ නැත. එහි බලපෑම ද වැඩියෙන්ම දැනෙනු ඇත්තේ රටේ පොදු මහජනතාවටය.

ප්‍රශ්න එතැනින් ඉවර නැත. උද්ධමනය පැවති තත්ත්වයට වඩා අඩු බව මහ බැංකුව කියයි. එහෙත් ඒ බව ජනතාවට නොදැනෙයි. පාන් පිටි මිල පැවති මිලට වඩා තරමක් අඩු වුවද පාන් ගෙඩියේ බනිස් ගෙඩියේ මිල ඊට සාපේක්ෂව අඩු වී නැත. පරිප්පු, සහල්, අල, ලූනු සහ ඇතැම් එළවළු වර්ග ද මස්, මාළු මිලද තරමක් අඩු වුණත් බත් පැකට්ටුවේ මිල අඩු වී නැත. සෙසු බොහොමයක් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගියා මිස පහළට ආවේම නැත. අද අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වන ජංගම දුරකථනවල බිල් සඳහා අය කරන ගාස්තු වැඩිවීම ඒ සඳහා එක් උදාහරණයක් පමණි.

එදිනෙදා ජීවත්වීමේ දුෂ්කරතා හේතුවෙන් අපරාධ පවා ඉහළ යන තත්ත්වයක් දැකගන්නට තිබේ. මේ තත්ත්වයන් දැන් නවත්වා ගැනීමට අපොහොසත් වුවහොත් එය පාලනය කරගත නොහැකි තැනකට තල්ලු වීමට පවා ඉඩ තිබෙන බව පැහැදිලිය. එවිට නිසැකවම සිදුවන්නේ නීතියේ ආධිපත්‍යය බිඳවැටීමට ඉඩක් ලැබීමය. එවැනි තත්ත්වයකට රටක් පත් විය යුතු නැත. 

මේ සියලු හේතුන් අඩු වැඩි වශයෙන් පැවතීම පෙන්වා දෙන්නේ රට හමුවේ උත්තර නැති ප්‍රශ්න ගොඩගැසී පවතින බවය. රටේ උගත් බුද්ධිමත් ජනතාව රට හැර යාම එහි එක් ප්‍රතිඵලයකි. එය රටේ ආර්ථිකය තවදුරටත් අඩපණ වීමකි. රටේ පවතින මේ අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමට කිසිදු පියවරක් නොගෙන අහක බලා සිටීමෙන් එකම ප්‍රශ්නයක්වත් විසඳෙන්නේ නැත.