2023 පෙබරවාරි 05 වන ඉරිදා

ජනප්‍රිය තීන්දුවලින් රට ගොඩ යන්නෙ නැහැ

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 33

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් - රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය

  • මැතිවරණ දිනය බොහොම ගැටලුසහතයි
  • තෙල් මිල ගැන ඇමැතිට බැනල වැඩක් නැහැ
  • පොහොට්ටුව නීතියට වැඩ: සමහර පක්ෂ නීති කඩනව
  • මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය ගැන ප්‍රශ්නයක් තිබෙනව
     

මොකද මේ ආණ්ඩුව මැතිවරණ තියන්න නොදී බාල්දි පෙරළන්නේ. බයටද?

මැතිවරණ කොමිසම ඇත්තටම ස්වාධීනද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ මැතිවරණය තියන්න යොදාගත්ත දිනය ඉතාම ප්‍රශ්නකාරියි. 9 කියන දිනය මේ රටේ පසුගිය කාලයේ අඳුරු මතකයට අරන් යනවා. මැයි 9 වැනිදා වෙච්ච සිදුවීමත් එක්ක රටේ මිනිස්සුන්ට බයක් තියෙනවා මේ 9 වැනිදා අත්දැකීම ගැන. ඒ නිසා ඇත්තටම මේ 9 වැනිදා දිනය දාගත්තේ ඇයි? කවුද දැම්මේ කියලා ප්‍රශ්නයක්. කට්ටියකට වාසි වෙන්නත් තවත් කට්ටියකට අවාසි වෙන්නත් මේ දිනය යොදාගත්තා කියලා මට හිතෙනවා. ඉතින් මට මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනකම ගැන ප්‍රශ්නයක් තියෙනවා.

ඇයි මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය ගැන සැක. මොකක්ද හේතුව?

සාමාන්‍යයෙන් මැතිවරණ කොමිසමේ තීන්දු තීරණ ගැනීමේදී 3 දෙනෙක්වත් ඕන තීරණ ගන්න. එහෙම නැතුවත් තීන්දු ගත්ත අවස්ථා තියෙනවා කියලා අපිට ආරංචියි. ඒ නිසයි මම කිව්වේ කොමිසමේ ස්වාධීනත්වය ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ නිසා ඉස්සෙල්ලම ඒක බලන්න වෙනවා. මොකද 9 කියන්නේ මේ රටේ අඳුරු දවසක්. ඇයි ඒ දවසම දාගත්තේ. අනික සාමාන්‍යයෙන් මැතිවරණයක් තියෙන්නේ සෙනසුරාදා වගේ. ඇයි මේක බ්‍රහස්පතින්දා දාගත්තේ.

මොකක්ද දැන් මේකෙන් වෙන අවාසිය?

මෙහෙමයි. අපේ ඡන්ද දාකයකයෝ බයයි. ඒත් අපේක්ෂකයන්ට තර්ජනය කරනවා. අනික ඉස්සර මැතිවරණ මෙහෙයුම් කළේ අපේ ගෙවල්වල. අපේ ගෙදර ඇතුළුව ගෙවල් රුසක් විනාශ වෙලා. ඒවා තවම හදලා නෑ. ඉතින් තවම මැතිවරණයක් තියන්න පසුබිමක් සමාජයේ හැදිලා නෑ. ඒක හැදුණාට පස්සෙයි මැතිවරණය තියන්න තිබුණෙ. මේ වෙලාවේ මැතිවරණය තියන්න වාතාවරණයක් නෑ.

ඇයි මේ මැතිවරණය තියනවට කොමිසමට ආණ්ඩුව බලපෑම් කරන්නේ?

කවුද එහෙම කියන්නේ?

විපක්ෂය කියන්නේ?

අනේ අපි කරන බලපෑමක් නෑ. බලපෑම් කළා නම් මේ වෙද්දී කිසිම දෙයක් කරන්න වෙන්නේ නෑනේ. දැන් ඔය නාමයෝජනා පවා අරගෙන දිනේ පවා තීන්දු කරලා තියෙන්නේ. එහෙම බලපෑමක් අපෙන් නෑ. ඒත් කොමිසමේ ස්වාධීනකම ගැන ප්‍රශ්නයක් තියෙනවා අපිට.

මේ වෙලාවේ පොහොට්ටුවේ සූදානම කොහොමද?

අපි ඉතින් ගම් මට්ටමින් ගෙයක් ගානේ ගිහින් දැනුම්වත් කිරීම් කරනවා. අපේ කණ්ඩායම් උපරිම වැඩ කටයුතු කරනවා සියලු තර්ජන හමුවේ. ඒත් සමහර පක්ෂ මැතිවරණ නීතිය කඩමින් ලොකූ ලොකූ වැඩ කරනවා. මෙවර ඡන්දයෙදී එක් ඡන්ද දායකයෙක්ට වියදම් කරන්න පුළුවන් රුපියල් 20 යි. ඒත් සමහර පක්ෂ දැනටම ලොකු රුස්වීම් තියලා ඒ ගාණ වියදම් කරලා ඉවර‍යි. ඒ අයට මේවා වියදම් කළා වගේ නෙමෙයි, අනාගතයේ ඒ වියදම්වලට උත්තර බඳින්න වෙයි.

මේ වෙලාවේ ආණ්ඩුවට යම් ආකාරයක බලපෑමක් වෙලාද? ජාතික ජන බලවේගය

මෙහෙමයි. ඉතිහාසයේ ඉඳලා ජවිපෙට තරුණයන්ගේ ආකර්ශනය තියෙනවා. ඒත් ඒක ජයග්‍රහණයට හේතුවක් වුණේ නෑ. ඉතිහාසය ගැන නොදන්න තරුණ පරම්පරාවට හොඳම උදාහරණය තමයි මැයි 9 වැනිදා කියන්නේ. එදා ඒ ගෙවල් ගිනි තැබීමට ඔවුන් වගකියන්න ඕන. මොකද ඔවුන්ගේ ආධාරකරුවෝ තමයි ගිනි තිබ්බේ. ඉතින් ඒ නිසා අපිට නම් එයාලා අභියෝගයක් නෙමෙයි.

ආණ්ඩුව අලුත් මාතෘකාවක් ගෙනල්ලා 13 ක්‍රියාත්මක කරනවා කියලා. එකපාරම ඒ මොකද? 

ඇත්තටම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ මේ රටේ ව්‍යවස්ථාවේ සඳහන් කාරණයක්. ඒක නීතියක්. ඒක ක්‍රියාත්මක කිරීමේ වරදක් නෑ. මොකද ඒක ව්‍යවස්ථාවට පටහැණි දෙයක් නෙමේ.

ඒත් පොහොට්ටුවේ බහුතරයක් විරුද්ධයිනේ?   

ඒක තමයි. එහෙම විරුද්ධ වුණා කියලා වැඩක් නෑ. ඒක මේ රටේ නීතියක්. ඒක ව්‍යස්ථාවේ කොටසක්. ඒකට විරුද්ධ වෙලා වැඩක් නෑ. විරුද්ධ වෙනවා නම් අපි කරන්න ඕන ඒක වෙනස් කරන එක. එහෙම නැතුව නිකම් විරුද්ධයි කිව්වට වැඩක් නෑ.

මේ වෙද්දි පෙට්‍රල් මිල වැඩි කරලා. මේවා ජනතාවට දරන්න බෑ. ආණ්ඩුව ගැන තියෙන විශ්වාසය එන්න එන්න ජනතාවට නැති වෙනවා.

ඇත්තටම මේ ගැන කංචන ඇමැතිවරයට දොස් කිව්වට ඔහුට කරන්න දෙයක් නෑ. වෙළෙඳපොළේ ආනයන තෙල් මිලත්, ඒ වගේම ප්‍රවාහන වියදමුත් එක්කයි මේ ගණන් හැදෙන්නේ. එහෙම නැතුව ඇමැතිට ඕන නිසා ගණන් වැඩි කරන්නේ නෑ. මේක පොදුවේ දරන්න වෙනවා. ඒ වගේම අඩු කරන්න පුළුවන් නම් ඒකත් කරනවනේ. අපි එහෙම කළානේ.

උපයන විට බද්ද කියන්නේ ජනතාවට දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා. මේ වෙද්දී ඒකට වෙනම සටනක් යනවා. මේක ආණ්ඩුවට අවාසි වෙන්න පුළුවන් නේද?

මෙහෙමයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අයත් ආසයි රටකට ගිහින් ජීවත් වෙන්න. ඒත් ඒ අය දන්නේ නෑ ඒ රටවල්වලත් මේ වගේම බදු ගහනවා කියලා. එහේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය කියලා නෑ. හැමදේටම මිලක් තියෙනවා. ඉතින් එහෙම සිස්ටම් එකකට එකඟ අය මේ වගේ දෙයක් කළාම විරුද්ධ වෙනවා. ඒක වැරදිනේ. අනික මේක හැමෝටම පොදුවේ වෙන වැඩක්.

අවසාන වශයෙන් අහන්නේ ජනතාවට සහනයක් ලැබෙන්නේ කවද්ද?

මෙහෙමයි. මේ ආණ්ඩුව ජනප්‍රිය තීන්දු ගන්නේ නෑ. ඉතිහාසයේ ඉඳලා ජනප්‍රිය තීන්දු ගත්ත නිසයි අද මේ තැනට වැටුණේ. උදාහරණයක් හැටියට මගේ දරුවන්ට ටීවී බලන්න දෙන එක ජනප්‍රිය තීන්දුවක්. හැබැයි දරුවන්ට හොඳ කෑමක්, පෝෂ්‍යදායි ආහාර වේලක් බලෙන් හරි දෙන එක ජනප්‍රිය තීන්දුවක් නෙමේ. අන්න ඒ වගේ අපේ රටේ මිනිස්සු හුරුවෙලා ඉන්නේ ජනප්‍රිය තීන්දුවලට. ඒ යුගය අපි වෙනස් කරමින් යන්නේ.

I ගයාන් ගාල්ලගේ

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00